Last Update  :  2025-06-28 14:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සී.සී.සී. ක්‍රීඩකයෝ ශූරතාව දිනති
අන්තර් සමාජ වි20

සී.සී.සී. ක්‍රීඩකයෝ ශූරතාව දිනති

editorial - 2025 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ප්‍රධානතම අන්තර් සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සී.සී.සී. ක්‍රීඩා සමාජය සමත් විය. ඉකුත් ඉරිදා (15 වැනිදා) සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් සී.සී.සී. ක්‍රීඩකයෝ මෙවර ශූරතාවට හිමිකම් කීහ.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක් හඹාගිය සී.සී.සී. කණ්ඩායම පන්දු 14 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්තේය. වනිඳු හසරංග පන්දු 13 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 25 ක්ද, චතුරංග ද සිල්වා පන්දු 10 කදී හයේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 20 ක්ද රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. 

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ පන්දු 38 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 78ක් රැස්කිරීමට සමත් වූ අතර දුල්නිත් සිගේරා (38) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 67 කදී ලකුණු 106 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් සී.සී.සී. කණ්ඩායමට සාර්ථක ආරම්භයක්ද ලබාදුන්නේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් පානදුර ක්‍රීඩා සමාජය ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 172 ක් ලබාගත්තේය. පානදුර ක්‍රීඩා සමාජයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු විෂේන් හැළඹගේ පන්දු 37 කින් ලකුණු 73 ක් රැස්කළේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. සෙනිත හැළඹගේ පන්දු 17 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 36 ක් රැස්කළේය. 


පානදුර පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 172 
(විෂේන් හැළඹගේ 73, දුෂාන් හේමන්ත 16, විෂ්ව ළහිරු 20, සෙනිත හැළඹගේ නොදැවී 36, විෂ්ව ප්‍රනාන්දු 07/2, චතුරංග ද සිල්වා 26/2)

සී.සී.සී. පිල - ඕවර 17.4 කදී කඩුලු 4 කට 174 
(ලසිත් කෲස්පුල්ලේ 78, දුල්නිත් සිගේරා 38, වනිඳු හසරංග නොදැවී 25, චතුරංග ද සිල්වා නොදැවී 20) 

 


අදහස් (0)

සී.සී.සී. ක්‍රීඩකයෝ ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.