Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සීෂෙල්ස් ක්‍රීඩකයෝ ‍අගමැති කුසලාන රැගෙන යති

සීෂෙල්ස් ක්‍රීඩකයෝ ‍අගමැති කුසලාන රැගෙන යති

editorial - 2021 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සංවිධානයෙන් පැවැති අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සීෂෙල්ස් රාජ්‍යය අද (19 වැනිදා) සමත් විය. රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව දඬුවම් පහර 3-1 ක ජයක් ලබමින් සීෂෙල්ස් ක්‍රීඩකයෝ එම ශූරතාවට හිමිකම් කීහ.

වසර 15 කට‍ පසු ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාවට එහිදී ලැබූ පරාජය හේතුවෙන් නැවත වරක් අනු ශූරතාවකින් සෑහීමකට පත්වීමට සිදුවිය. තරගයේ 84 වැනි විනාඩිය නිමාවන විට ගෝල 3-1 ක් ලෙස ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පහසුවෙන්ම තරගය ජයගනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වුවද, 85 වැනි විනාඩියේදී අසිකුර් රහුමාන් වාර්තා කළ ඕන් ගෝලය තරගයේ හැරවුම් ලක්ෂය බවට පත් විය.

එම ගෝලයත් සමග ගෝල 3-2 ක් ලෙස යම් තරමින් හිස එසවූ සීසෙල්ස් ක්‍රීඩකයෝ, තරගයේ අවසන් විනාඩියේදී (90) එලීජා ටොම්බෝ ලබාගත් ගෝලයත් සමග නියමිත වේලාව අවසන් වන විට කණ්ඩාය‍ම් දෙකම ගෝල 3-3 ක් ලෙස සම තත්ත්වයට රැගෙන ආහ. ඒ අනුව තරගයේ ජයග්‍රාහකයා තෝරාගැනීම සඳහා දඬුවම් පහර ක්‍රියාත්මක කෙරුණ අතර ඉන් දඬුවම් පහර 3 ක් සාර්ථක කරගත් සීෂෙලස් ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තු සුන්කර දැමූහ. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක කර ගත හැකි වූයේ දඬුවම් පහර 4 කින් එකක් පමණි.

ඩොන් ෆැන්චටේ ෂීසෙල්ස් කණ්ඩායම වෙනුවෙන් පළමු දඬුවම් පහර ලබාගත් අතර එය වළක්වාලීමට ශ්‍රී ලංකා දැල රකින ක්‍රීඩක සුජාන් පෙරේරා සමත් විය. කෙසේ වුවත් ඉන් අනතුරුව එඩිජා ටොම්බෝ, හියුබට් ජීන් සහ ජීන් එර්නෙස්ටා ලබාගත් දෙවැනි, තෙවැනි සහ සිවුවැනි දඬුවම් පහර වළක්වාලීමට සුජාන් අපොහාසත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු සහ දෙවැනි දඬුවම් පහර ලබාගත් මර්වින් හැමිල්ටන් සහ අසිකුර් රහුමාන් අසාර්ථක වෙද්දී නායකත්වයේ වගකීම සිය කර මතට ගත් සුජාන් පෙරේරා, තෙවැනි දඬුවම් පහර සාර්ථක කරගනිමින් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ඉහළ නැංවීය. එහෙත් චරිත රත්නායක ලබාගත් සිවුවැනි දඬුවම් පහර වළක්වාලීමට ‍සීෂෙල්ස් දැල රකින ක්‍රීඩක ඇල්වින් මිකෙල් සමත්වීමට සමග ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුවත් බිඳ වැටිණ.

සිවුවැනි විනාඩියේදී ක්‍රීඩාංගණයේ හරි මැදට ආසන්‍නයේ සිට නිදහස් පහරකින් පන්දුව දැල තුළට යැවූ මර්වින් හැමිල්ටන් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. ඉන් අනතරුව පළමු අර්ධයේ අවසන් විනාඩිය (45) නිමාවන තෙක්ම ගෝලයක් ලබාගැනීමට දෙපිලේම ක්‍රීඩකයෝ අසමත් වූහ‍‍. එහෙත් පළමු අර්ධයේ අතිරේක කාලයේදී හෙල්ටන් මැනී යොමුකළ පන්දුවක් හිසින් දැල තුළට යොමුකළ හියුබට් ජීන්, එම අර්ධය අවසන් වන විට කණ්ඩායම් දෙක ගෝල 1-1 ක් ලෙස සම තත්ත්වයට පත් කළේය‍.

දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 12 ක් ගතවන විට එනම් 57 වැනි විනාඩියේදී හර්ෂ ප්‍රනාන්දුගේ පන්දු යොමුකිරීමකින් තමා වෙත පැමිණි පන්දුව, ක්‍රීඩකයන් පොකුරක් මැදින් දැල තුළට යොමු කළ මොහොමඩ් අකීබ්, ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි ගෝලය ලබාගත්තේය. සීෂෙලස් ක්‍රීඩකයකුගේ නීති විරෝධී ක්‍රියාවක් හේතුවෙන් 75 වැනි විනාඩියේදී ශ්‍රී ලංකාවට හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කරගත් වසීම් රාසික් සිය කණ්ඩායමට තෙවැනි ගෝලය ලබාදුන්නේය. මෙම තරගාවලියේදී රාසික් ලබාගත් 7 වැනි ගෝලය එය විය.

(ඡායාරූප - ගයාන් අමරසේකර)


අදහස් (0)

සීෂෙල්ස් ක්‍රීඩකයෝ ‍අගමැති කුසලාන රැගෙන යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.