Last Update  :  2025-07-18 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සධීර ආයෙත් දොරට තට්ටු කරයි

සධීර ආයෙත් දොරට තට්ටු කරයි

editorial - 2022 දෙසැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

නිමාවට පත්වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දක්වමින් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දොරට තට්ටු කරන ක්‍රීඩකයන් අතර තරග 9 කදී ලකුණු 294 ක් රැස්කරමින් සහ කඩුලු රකින්නකු ලෙස දවාගැනීම් 10 කට දායක වෙමින් තරගාවලියේ වීරයා බවට පත්වූ යාපනය කිංග්ස් කණ්ඩායමේ සධීර සමරවික්‍රම ඉදියෙන්ම සිටියි. 

යාපනය කණ්ඩායම සහභාගී පළමු තරගයේදී ඔවුන්ගේ කඩුලු රකින්නා ලෙස කටයුතු කළ රහ්මනුල්ලා ගුර්බාස් ආබාධයකට ලක්වීම හේතුවෙන් දෙවැනි තරගයේදී සධීරට කඩුලු රකින්නා ලෙස කණ්ඩායමට ඇතුළත් වීමේ අවස්ථාව උදාවිය. ක්‍රීඩා කළ පළමු තරගයේදීම පන්දු 44 කින් නොදැවී ලකුණු 62 ක් රැස්කරමින් කණ්ඩායමට නැතිවම බැරි ක්‍රීඩයකු ලෙස තමාගේ ස්ථානයත්, පුහුණුකරුගේ සහ නායකයාගේ විශ්වාසයත් රැකගැනීමට ඔහු සමත් විය. 

ලද අවස්ථාවට උපරිම සාධාරණයක් ඉටු කළ සධීර, ක්‍රීඩා කළ ඉනිම් 9 න් 4 කදීම නොදැවී සිටිමින් ලකුණු 58.80 ක් සාමාන්‍යක් සහ 131.25 ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගත්තේය. තරගාවලිය පුරා සධීර ලබාගෙන තිබුණේ එක් අර්ධ ශතකයක් පමණක් වුවත්, ඔහුගේ ලකුණු මල්ලට අඩු පන්දු සංඛ්‍යාවකින් ලකුණු 30 සීමාව ඉක්මවා ගිය ඉනිම් 5 ක් ඇතුළත් විය. අවසන් තරගයේදී පීඩනය යටපත් කරගෙන පන්දු 27 කින් ඔහු ලබාගත් වේගවත් ලකුණු 44, ක්‍රීඩා විචාරකයන්ගේ පැසසුමට ලක්වූ ඉනිමක් විය. 

තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් සහ වැඩිම හතරේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවන් අතර ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දුට (ලකුණු 339) පමණක් දෙවැනි වූ සධීර, මෙවර තරගාවලියේදී  ඉහළම ලකුණු සාමාන්‍යක් රඳවාගත් පිතිකරුවාද විය. තරග 10 කදී අවිෂ්ක හතරේ පහර 37 ක් එල්ල කරද්දී, හතරේ පහර 33 ක් එල්ල කිරීමට සධීර සමත් විය. 

ආබාධ තත්ත්වය සුව වී ගුර්බාස් යළිත් යාපනය කණ්ඩායමට එක් වුවද, කඩුලු රකින්නාගේ අත්වැසුම් යුගලය සධීරගෙන් ඉවත් කිරීමට කණ්ඩායමේ කළමනාකාරීත්වය එතරම් කැමැත්තක් නොදැක්වීය. එහි ප්‍රතිඵලය ලෙස කඩුල්ල පසුපස සිට උඩ පන්දු 8 ක් සහ ස්ටම්ප් කිරීම් 2 ක් සමග දවාගැනීම් 10 කට දායක වෙමින් තරගාවලියේ වැඩිම දවාගැනීම් සංඛ්‍යාවට දායකත්වය සැපයූ කඩුලු රකින්නා බවට පත්වීමටද සධීරට හැකි විය. 

2017 වසරේ ඔක්තෝබර් මාසයේදී ටෙස්ට්, එක්දින සහ විස්සයි2-20 යන ආකෘති 3 සඳහාම ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් හිමිකරගත් සධීරට දීර්ඝ කාලීනව කණ්ඩායමේ රැදී සිටීමට නොහැකි විය. ටෙස්ට් තරග 4 කදී, එක්දින තරග 7 කදී සහ විස්සයි-20 තරග 9 කදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඔහු, කැපී පෙනෙන දස්කම් දැක්වීමට නොහැකි වීම හේතුවෙන් ජාතික කණ්ඩායමෙන් ඉවතට විසිවිය. 

කෙසේ වුවත් මේ වන විට විස්සයි-20 ආකෘතිය සඳහා පමණක් නොව එල්.පී.එල්. තරගාවලියට පෙර පැවැති අන්තර් සමාජ පළමු පෙළ තරගාවලියේදී මෙන්ම අන්තර් සමාජ එක්දින තරගාවලියේදීද ලකුණු අතරට එමින් යළිත් වරක් තමා ආකෘති 3 සඳහාම ජාතික කණ්ඩායමේ දොරටුව අසලට පැමිණ සිටින බව තේරීම් කමිටුවට ඒත්තු ගැන්වීමට සධීර සමත්ව ඇත. 

අන්තර් සමාජ පළමු පෙළ තරගාවලියේ තෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සධීර, තරග 12 කදී ශතක 4 ක් සහ අර්ධ ශතකයක් සමග 51.10 ක සාමාන්‍යයක් රඳවාගනිමින් ලකුණු 1022 ක් රැස්කළේය. අන්තර් සමාජ එක්දින තරගාවලියේ තරග 13 කදී අර්ධ ශතක 3 ක් සමගිනි ඔහු ලකුණු 306 ක් රැස්කළේ ලකුණු 27.81 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. එම තරගාවලි දෙකේදීම තමා නායකත්වය දැරූ ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය අවසන් මහ තරග දක්වා රැගෙන යෑමටද සධීර සමත් විය.


අදහස් (0)

සධීර ආයෙත් දොරට තට්ටු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.