
ශ්රී ලංකා විස්සයි-20 නායක දසුන් ශානක, පාකිස්තානු සුපර් ලිගයේ තමන් ගිවිසුම් අත්සන් කළ ලාහෝර් කොලැන්ඩර්ස් පිල අතහැර අයි.පී.එල්. තරගාවලිය සඳහා රාස්තාන් රෝයල්ස් පිලට එක්වීමට තීරණය කර තිබේ. රාජස්තාන් රෝයල්ස් පිල සමගින් ගිවිසුම් අත්සන් කර තිබූ එංගලන්ත ක්රීඩක සෑම් කරන් තුවාල ලබා සිටීම හේතුවෙන් සෑම් කරන් වෙනුවට දසුන් ශානක තම පිලට එකතු කරගැනීමට රාස්තාන් රෝයල්ස් බලධාරීන් තීරණය කර තිබේ.
ඉන්දීය රුපියල් කෝටි 2 ක් (ශ්රී ලංකා රුපියල් කෝටි 6.68 ක් හෙවත් රුපියල් මිලියන 66.8 ක්) වෙනුවෙන් දසුන් ශානක රාස්තාන් රෝයල්ස් පිල සමගින් එකතු වනු ඇත. තමන්ගේ තීරණය සම්බන්ධයෙන් දසුන් ශානක සිය පූර්වගාමී කණ්ඩායම වන ලාහෝර් කොලැන්ඩර්ස් පිලට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
“සෑම් කරන් කියන්නේ පිත්තෙන් සහ පන්දුවෙන් අතිමහත් වටිනාකමක් ගෙන එන ක්රීඩකයෙක්. එත් සෑම් වෙනුවට දසුන් ශානක ගෙන්වා ගැනීමට අපි අදහස් කරනවා. පිතිකරුවකු වශයෙන් තරගයක් හොඳින් අවසන් කරන්නෙකු වගේම අපගේ කණ්ඩායමේ සමබරතාවය පවත්වා ගැනීමට උපකාරී වන ඉහළ මට්ටමේ තුන් ඉරියව් ක්රීඩකයෙකු වන දසුන් ශානක, අප සමග ගිවිසුම්ගතව සිටි සෑම් කරන් වෙනුවට කදිම ආදේශකයක් කියලා අපි හිතනවා” යයි රාජස්තාන් රෝයල්ස් පිලේ ක්රිකට් අධ්යක්ෂ සහ ප්රධාන පුහුණුකරු කුමාර් සංගක්කාර මහතා ‘ක්රික් ඉන්ෆෝ’ වෙබ් අඩවියට පවසා තිබේ.
වසර 2019 දී පන්ජාබ් සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් අයි.පී.එල්. තරගාවලියට එක්වූ සෑම් කරන් පසුව චෙන්නායි සුපර් කිංග්ස් පිල නියෝජනය කළේය. 2025 දීත් සෑම් කරන් චෙන්නායි සුපර් කිංග්ස් පිල නියෝජනය කළ නමුත් 2026 තරගාවලිය සඳහා රාජස්තාන් රෝයල්ස් පිල විසින් ඉන්දීය රුපියල් කෝටි 2.4 ක් ගෙවමින් සෑම් කරන් මිලදී ගත්තේය. එහෙත් 2026 තරගාවලියට පොරතුව ඇතිවූ ඉකිළියේ ආබාධයක් හේතුවෙන් සෑම් කරන්ට අයි.පී.එල්. තරගාවලිය සම්පූර්ණයෙන්ම අහිමි වන බව වාර්තා වේ.
දසුන් ශානක ද වසර 2023 සිටම අයි.පී,එල්. තරගාවලියට ක්රීඩා කර ඇති නමුත් ඒ ආදේශක ක්රීඩකයකු ලෙසිනි. 2023 දී කේන් විලියම්ස් වෙනුවෙන් ගුජරාට් ටයිටන්ස් පිල නියෝජනය කළ දසුන් ශානක, 2025 තරගාවලියේදී තවත් නවසීලන්ත ක්රීඩකයකු වන ග්ලෙන් පිලිප්ස් වෙනුවෙන් ගුජරාට් ටයිටන්ස් පිලට එක්විය. මෙවර ඔහු සෑම් කරන් වෙනුවට රාජස්තාන් රෝයල්ස් පිලට එක්වන නමුත් දසුන් ශානක මෙතෙක් ක්රීඩා කර ඇත්තේ අයි.පී.එල්. තරග 3 කට පමණි. එම තරග තුනම 2023 දී පැවැති තරගය.
මේ අතර, පාකිස්තානු සුපර් ලීගය හැරයමින් අයි.පී,එල්. තරගාවලියට එක්වූ දසුන් ශානක සහ සිම්බාබ්වේ ක්රීඩක බ්ලෙසිං මුසෙරබානි වැනි ක්රීඩකයන් සම්බන්ධයෙන් ඉදිරියේදී සුදුසු පියවර ගන්නා බව පාකිස්තානු ක්රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොසින් නක්වි මහතා පවසා තිබේ. කොල්කටා නයිට් රයිඩර්ස් පිලෙන් බංග්ලාදේශ ක්රීඩක මුස්ටෆිසුර් රෙහෙමාන්ව ඉවත් කිරීම හේතුවෙන් මුස්ටෆිසුර් වෙනුවට බ්ලෙසිං මුසෙරබානි කොල්කටා පිලට එක්වූයේ අනපේක්ෂිත ලෙසින් ඉස්ලාමාබාද් යුනයිටඩ් පිල හැර යමිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.