Last Update  :  2026-04-07 18:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට ලකුණු 52 ක ජයක්
යොවුන් කාන්තා පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය

ශ්‍රී ලංකාවට ලකුණු 52 ක ජයක්

editorial - 2026 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ඉයන් හීලි ඕවල් පිටියේදී අද (7 වැනිදා) පැවැති සුහද එක්දින තරගයකදී ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම විසින් එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායම ලකුණු 52 කින් පරාජය කරන ලදි. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම ලකුණු 170 කට දැවී ගිය අතර එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායම ලකුණු 118 කට දැවී ගියේය. 

ශ්‍රී ලංකාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවල යොවුන් කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ දෙවැනි තරගය මෙයයි. යොවුන් ක්‍රීඩිකාවන්ට අත්දැකීම් ලබාගැනීම සඳහාම පැවැත්වෙන මෙම තරගාවලියේ ශූරියන් තෝරාගැනීමක් නොකෙරේ. 

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම වෙනුවෙන්, හිටපු ටෙස්ට් නායක තිලකරත්න ඩිල්ෂාන් මහතාගේ දියණිය, ලිමන්සා තිලකරත්න ලබාගත් අර්ධ ශතකය ශ්‍රී ලංකා කණ්ඩායමට ජය මාවත විවර කළ සාධකය විය. පන්දු 85 කට මුහුණ දුන් ලිමන්සා, සෙමින් නමුත් ස්ථාවර පිතිහරඹයක යෙදෙමින්, හතරේ පහර 2 ක් සහ හයේ පහරක් ද සමගින් ලකුණු 51 ක් ලබාගත්තේ සාර්ථක සම්බන්ධතා දෙකකටම දායක වෙමිනි. 

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම තෝරාගත් නමුත් ආරම්භක පිතිකාරිණි විමෝක්‍ෂා බාලසූරිය මුහුණ දුන් සිව්වැනි පන්දුවේදීම දැවී ගියාය. දෙවැනි කඩුල්ලත් ලකුණු 23 දී දැවී ගිය නමුත් ආරම්භක පිතිකාරිණි සංජනා කාවින්දිට එක්වූ ලිමන්සා තම කඩුල්ල ආරක්‍ෂා කරගනිමින් ලකුණු ලබාගැනීමේ යෙදුණාය. 

දනෝද්‍යා සෙව්මිණි සමගින් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 42 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ලිමන්සා, දැවී යාමට පෙර ශශිනි ගිම්හානි සමගින් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 56 ක සම්බන්ධතාවක් ද ගොඩනැංවූවාය.  

එංගලන්ත ක්‍රීඩිකාවන්ගේ ඉනිම ආරම්භයේ සිටම අසාර්ථක විය. ලකුණු 41 කට කඩුලු 6 ක් දැවීගිය අතර ශ්‍රී ලංකා යොවුන් නායිකා චමෝදි ප්‍රබෝධා (13/3) සහ අසේනි තලගුණේ (11/3) ලකුණු 24 ක් ඇතුළත කඩුලු 6 ක් දවාගනිමින් එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායම අසරණ කර දැමූහ. 


ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම - ඕවර 42.4 කදී සියලු දෙනා දැවී 170 යි
(සංජනා කාවින්දි 12, ලිමන්සා තිලකරත්න 51, දනෝද්‍යා සෙව්මිණි 11, ශශිනි ගිම්හානි 39, ටෲඩි ජොන්සන් 09/4, බී විලිස් 40/2, මාරියා ඇන්ඩෲස් 23/2)

එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායම - ඕවර 41.2 කදී සියලු දෙනා දැවී 118 යි
(ඇමීලියා ඔලිවර් 15, ශ්‍රීස්ති පතිල් 11, බි්‍රයෝනි ගිල්ග්‍රාස් 35, බී විලිස් නොදැවී 20, චමෝදි ප්‍රබෝධා 13/3, අසේනි තලගුණේ 11/3)


- 213


අදහස් (0)

ශ්‍රී ලංකාවට ලකුණු 52 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.