Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට පාපන්දු තහනම්

ශ්‍රී ලංකාවට පාපන්දු තහනම්

editorial - 2023 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජනවාරි 21 වැනිදා සිට ශ්‍රී ලංකාවට එරෙහිව තාවකාලිකව පනවා තිබෙන ජාත්‍යන්තර පාපන්දු තහනම රුවන්ඩාවේ ‘කිගාලි’ නුවරට රැස් වූ අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ සාමාජික රටවල් 197ක් විසින් පෙරේදා (16) අනුමත කරන ලදි. ඒ එම සම්මේලනයේ පැවැති මහ සමුළුවේදීය.

එහි සිවු වසරකට වරක් පැවැත්වෙන නිලවරණයට (2023-27 සමගාමීව පැවැති මෙම මහ සමුළුවට එහි සාමාජික රටවල් 208ම සහභාගිවී සිටියහ.

ශ්‍රී ලංකාවට පැන වූ අන්තර් ජාතික පාපන්දු තහනම අනුමත කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව ඇතුළුව මහ සමුළුවට ඉදිරිපත් වූ යෝජනා ගණනාවකට රුසියාව පමණක් එහිදී විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

අන්තර් ජාතික පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට පනවා තිබෙන තහනම ‘කිගාලි’ මහ සමුළුව විසින් පෙරේදා අනුමත කිරීමත් සමඟ ශ්‍රී ලංකාව ඉදිරි සිවු වසරක් සඳහා (2023-27) එම සම්මේලනයෙන් හා ආසියානු පාපන්දු සමුළුවෙන් ලැබීමට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 13 කට ආසන්න මුදලක් අත්හිටුවීමට පියවර ගැනේ.

මෙම මුදල ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 450ක් ඉක්මවයි. මෙම මූල්‍යාධාර අත්හිටුවීමේ තීරණය මෙරට පාපන්දු ක්‍රීඩාවේ පැවැත්මට ඍජුවම බලපෑමක් කෙරේ. ඊට හේතුව ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව හා එහි පරිපාලනයේ සියලු වියදම් පවත්වාගෙන යන්නේ එම අරමුදල්වලින් වීමෙනි.

අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ ආදායම මේ වනවිට ඩොලර් බිලියන 7.6ක් ලෙස වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. තවත් සිවු වසරකට පෙරේදා කිගාලි නුවරදී අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයට පත් ගිආනි ඉන්ෆැන්ටිනෝ මහතා ප්‍රකාශ කර ඇත්තේ සාමාජික රටවලට ලබාදෙන වාර්ෂික අරමුදල් 30% කින් ඉහළ නංවා තිබෙන බවයි.

එවැනි තත්ත්වයක් යටතේ අන්තර් ජාතික පාපන්දු තහනම ශ්‍රී ලංකාව තව දුරටත් පීඩාවට පත් කෙරෙන සිදුවීමක් බවට පත්ව තිබේ. ජනවාරි 14 වැනිදා පැවැති ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණයෙන් පත්වූ සභාපති ජේ. ශ්‍රී රංගා මහතා ඇතුළු විධායක සභාවේ පත්වීම් ප්‍රතික්ෂේප කරමින් නව පාපන්දු ව්‍යවස්ථාවක් යටතේ නැවත නිලවරණයක් විධිමත්ව පැවැත්වෙනතුරු සිය තහනම බල පැවැත්වෙන බව අන්තර් ජාතික සම්මේලනය ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.

ඒ හේතුවෙන් මෙවර කිගාලි  මහ සමුළුවේ අසුන් ගැනීම ශ්‍රී ලංකාවට තහන්ම් කෙරුණි. කෙසේ වුවත් ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ හිටපු සභාපති ජස්වර් උමාර් මහතා පෞද්ගලිකව ලැබුණු ආරාධනාවක් මත කිගාලි මහ සමුළුවේ උත්සව අවස්ථාවන්ට සහභාගි විය. අන්තර් ජාතික පාපන්දු සමුළුවේ උපදෙස් මාලාවට අනුව යමින් තහනම ඉවත් කර ගැනීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකාවට ලබාදුන් දැනුම්දීමට මෙතෙක් එහි බලධාරීන්ගෙන් ලැබී ඇත්තේ ඉතා අල්ප ප්‍රතිචාරයන්ය.


අදහස් (0)

ශ්‍රී ලංකාවට පාපන්දු තහනම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.