Last Update  :  2022-12-08 19:55:00 About Contact
IMG-LOGO
dailymirror.lk
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට ජය පැතූ පකිස්තානුවා

ශ්‍රී ලංකාවට ජය පැතූ පකිස්තානුවා

editorial - 2022 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී විශිෂ්ඨ ජයක් ලබමින් එළබෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට මනා සූදානමක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ආසියානු කුසලාන තරගාවලියේ ශූරයන් බවට පත්වනු ඇතැයි නම් දරා සිටි කණ්ඩායමක් සියල්ලම පරාජයට පත් කරමින් එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ජය මෙරට ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත්කරවන්නක් විය. 

පළමු තරගයේදී ඇෆ්ඝනිස්තානය හමුවේ ලැබූ දරුණු පරාජය හමුවේ දැඩි දෝෂ දර්ශනයට ලක් වුවද, බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදී ලැබූ ජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම යළි අළු ගසා දමා නැඟිට්ටේය. ඉන් අනතුරුව පිළිවෙලින් ඇෆ්ඝනිස්ථානය, ඉන්දියාව, පාකිස්තානය හඹාගොස් පරාජය කළ ශ්‍රී ලංකාව, අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ සුපිරි 4 දෙනාගේ වටයේදී අපරාජිත බව රැකගනිමිනි. අවසන් මහ තරගයේදී පාකිස්තාන කණ්ඩායමට පිට පිටම දෙවැනි වරටත් පරාජයේ අමිහිරි අත්දැකීම උරුමකර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 6 වැනි වරටත් ආසියානු කුසලානක පහස විඳීමේ අවස්ථාව මෙටර ක්‍රීඩා ලෝලීන්ට උදාකර දුන්හ. 

ආසියානු කුසලාන තරගාවලිය පුරා පැවැති දැඩි තරගකාරීත්වය හමුවේ ඉතා වෙහෙසකර තරග ආවරණයක නිරත වූ මා හට විවිධාකාරයේ පුද්ගලයන් හඳුනාගැනීමටත්, ඔවුන් සමග ක්‍රීඩාව සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීමටත් අවස්ථාව හිමිවිය. එහිදී මා හඳුනාගත් පුද්ගලයන් අතර පාකිස්තාන ජාතික සලීම් සුවිශේෂී තැනක් ගත්තේය. ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ දැඩි රුචිකත්වයක් දැක්වූ ඔහු, ආසියානු ක්‍රිකට් සභාවට සේවා සපයන ප්‍රවාහන සමාගමක වසර 10 ක පළපුරුද්දක් සහිත සුපරීක්ෂකවරයකු විය.

තරගාවලියට අදාල සියලුම මාධ්‍ය හමු අන්තර් ජාතික ක්‍රිකට් සභා ඇකඩමියෙහි පැවැති බැවින් අන්තර් ජාතික ක්‍රිකට් සභාව අසල සිට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය දක්වා මාධ්‍යවේදීන් ප්‍රවාහනය කිරීම ආසියානු කුසලාන තරගාවලියේදී සලීම්ට පැවරී තිබූ කාර්යය විය. ඔහු එම කාර්යය අකුරටම ඉටුකරමින් සිටියේය. එහෙත් මා හට ඔහු මුණගැසුනේ එක් දිනකදී පමණි. 

සුපිරි 4 දෙනාගේ වටයේදී ශ්‍රී ලංකා - පාකිස්තාන තරය පැවැත්වීමට නියමිතව තිබුණේ සැප්තැම්බර් මස 9 වැනිදාය. එම තරගයට අදාල මාධ්‍ය හමුව ඊට පෙර දින එනම් සැප්තැම්බර් මස 8 වැනිදා පස්වරුවේදී පැවැති අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු පියල් විජේතුංග මහතා එම මාධ්‍ය හමුවට සහභාගි විය.

එදිනම ඉන්දියා - ඇෆ්ඝනිස්ථාන තරගයද පැවැති බැවින් ශ්‍රී ලංකා මාධ්‍ය හමුව අවසන් වීමෙන් අනතුරුව ඒ සඳහා පැමිණ සිටි මධ්‍යවේදීන්ගෙන් ඇතමකුට ඉන්දීය - ඇෆ්ඝනිස්ථාන තරගය ආවරණය කිරීම සඳහා ඩුබායි ක්‍රීඩාංගණය බලා යෑමට අවශ්‍ය විය. එහෙත් ගමනාන්ත දෙක අතර කිලෝ මීටර් එකහමාරක පමණ දුරක් තිබීමත්, ඒ වන විට තරගයේ ඕවර 10 ක් පමණ නිමාවී තිබීමත් හේතුවෙන් මාද ඇතුළු මාධ්‍යවේදීන් නඩයට හැකි ඉක්මනින් ක්‍රීඩාංගණය වෙත යෑම සඳහා සලීම්ගේ සහය පැතීමට සිදුවිය.

දුරකතන ඇමතුමක් ලබාදී පැය කාලයක් ගතවීමටත් මත්තෙන් අන්තර් ජාතික ක්‍රිකට් සභාව අසලට පැමිණ අපව සිය වෑන් රථයට නංවාගත් සලීම්, ඩුබායි ක්‍රීඩාංගණය බලා ගමන ආරම්භ කළේය. වෑන් රථයේ සිට මාධ්‍යවේදීන් එකිනෙක සමග අදහස් හුවමාරු කරගනිමින් සිටියදී, ඉදිරි අසුනේ සිටි මම සලීම් සමග කතාබහ ඇරඹුවෙමි.

ඉන්දීය - ඇෆ්ඝනිස්තාන තරගයට පෙර දිනියේදී එනම් සැප්තැම්බර් මස 7 වැනිදා පැවැති පාකිස්තාන - ඇෆ්ඝනිස්තාන තරගයේදී ක්‍රීඩාංගණය තුළ ක්‍රීඩකයන් අතරත්, ක්‍රීඩාංගණයෙන් පිටතදී නරඹන්නන් අතරත් ඇති වූ ගැටුම්කාරී තත්ත්වය අපගේ පළමු මාතෘකාව බවට පත්විය. එම සිදුවීම සම්බන්ධයෙන් මා සලීම්ගෙන් විමසූ අවස්ථාවේදී ඔහු හරි අපූරු දෙයක් කියා සිටියේය.

“සහෝදරයා, හින්දි භාශාවෙ කියමනක් තියෙනවා ‘ජිසීසේ කාතාහේ උසීපේ බෝක්තා හේ’ කියලා. ඒ කියන්නේ ‘කන්න දෙන කෙනාටමයි බුරන්නෙ’ කියන එක. මේ සිද්ධියත් හරියට ඒ වගේ තමයි. මීට අවුරුදු ගානකට කලින් ඇෆ්ඝනිස්ථානෙ ක්‍රිකට් තිබුනෙ නෑ. අපි (පාකිස්තානය) තමයි එහෙට ක්‍රිකට් ගෙනිච්චෙ. ඒයාලට මේ තැනට එන්න අපි හුඟක් උදව් කළා. අපේ පුහුණුකරුවො තමයි එයාලව පුහුණු කළේ. එහෙම වෙලත් එයාල මේ විදියට හැසිරෙන එක හරිම වැරදි නේද?” යැයි පැවසූ සලීම් නිහඬ විය.

සලීම්ගේ එම ප්‍රකාශයෙහි සත්‍යය අසත්‍යතාව සොයා බැලීමේදී මා හට ඒ සම්බන්ධ තවත් බොහෝ කරුණු අනාවරණය කර ගත හැකිවිය. ඉන් ප්‍රධානම කරුණ ඇෆ්ඝනිස්තානයට 2009 වසරේදී එක්දින ජාත්‍යන්තර වරම් හිමි වූ අවස්ථාවේදී කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ කබීර් ඛාන්ගේ සිට වත්මන් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු වන උමාර් ගුල් දක්වා පාකිස්තාන පුහුණුකරුවන් රැසකගේ සහාය ඇෆ්ඝනිස්ථානයට හිමිව ඇති බවය.

2001 වසරේදී අන්තර් ජාතික ක්‍රිකට් සභාවේත්, 2003 වසරේදී ආසියානු ක්‍රිකට් සභාවේත් අනු සාමාජිකයකු ලෙස ලියාපදිංචි වූ ඇෆ්ඝනිස්තානයට එක්දින වරම් හිමිකර ගැනීම සඳහා වසර 8 ක්ද, ටෙස්ට් වරම් හිමිකර ගැනීම සඳහා වසර 16 ක්ද බලා සිටීමට සිදුවිය. එම කාල පරාසය තුළ ඇෆ්ඝනිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාව වඩාත් තරගකාරී මට්ටමකට රැගෙන ඒම සඳහා කබීර් ඛාන් (2008-2010), රෂීඩ් ලතීෆ් (2010-2011) සහ ඉන්සමාම් උල්හක් (2012-2016) වැනි පුහුණුකරුවන්ගෙන් විශාල දායකත්වයක් හිමිව තිබේ.

සලීම් ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි කොපමණ උනන්දුවක් දක්වන්නෙක්ද යන්න මා හට වැටහුණේ අපව ක්‍රීඩාංගණය වෙත ගෙනයමින් සිටියදී පවා ඔහු ඒ මොහොතේ පැවැත්වෙමින් තිබූ ඉන්දීය - ඇෆ්ඝනිස්ථාන තරගයේ සජීවි විස්තර විචාරයට වරින් වර සවන් යොමුකරමින් සිටි බැවිනි. ඒ වන විට විරාට් කෝලි අඩු පන්දු සංඛ්‍යාවකදී අර්ධ ශතකයක් ලබා සිටි බැවින් මාගේ ඊලඟ ප්‍රශ්නය වූයේ කෝලි ශතකය කරා යනු ඇත්දැයි යන්නය.

එම අවස්ථාවේදී මා දෙස බලා සිනාසෙමින් සලීම් කියා සිටියේ “දැන් ඉතින් එයා 100 ක් නෙමෙයි 200 ක් ගැහුවත් වැඩක් තියෙනවද ඉන්දියාව තරගාවලියෙන් එළියෙනෙ. අනික එයාට 100 ඒව ගහනව නම් ගහන්න වෙන්නෙ ඇෆ්ඝනිස්ථානෙට තමා. මොකද ඔයාලට (ශ්‍රී ලංකාවට) අපිට (පාකිස්තානයට) ගහන්න කියලා යෑ. අර ඔයාලගෙ අලුත් බෝලර් එදා දාපු බෝලෙට නම් කෝලිට කර කියා ගන්න දෙයක් නැති වුණා.” යැයි කියමින් සලීම් කොක් හඬ දෙමින් සිනා සෙන්නට විය. එහිදී ඔහු අලුත් බෝලර් යනුවෙන් හැඳුන්වූයේ දිල්ෂාන් මධුෂංඛවය.

ක්‍රීඩාංගණය ආසන්නයටම පැමිණෙනවාත් සමග මම මගේ අවසන් ප්‍රශ්ණය යොමු කරමින් සලීම්ගෙන් අසා සිටියේ මෙවර ආසියානු කුසලාන කාහට හිමිවේවිද යනුවෙනි. ඒ වන විටත් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටි බැවින් ඔහුට මාගේ පැනයට ඉතාමත් පහසු පිළිතුරක් ඇතැයි මම සිතුවෙමි. එහෙත් මාගේ අනුමානය වැරදුණි. ක්‍රීඩාංගණය අසලටම පැමිණ වෑන් රථය නතර කළ ඔහු, මා සිතුවාට හාත්පසින්ම පරස්පර පිළිතුරක් ලබා දෙමින් මා හට සමුදුන්නේය.  

“ත්‍රස්තවාදී ප්‍රශ්න නිසා අපේ රටට කිසිම කණ්ඩායමක් අවෙ නැති වෙලාවෙ එන්න කැමති වුනේ ඔයාලා (ශ්‍රී ලංකාව) විතරයි. අපේ රටේ හුඟක් අය හිතන් උන්නේ අයෙ අපිට අපේ රටේදි ක්‍රිකට් තරගයක් නරඹන්න ලැබෙන එකක් නෑ කියලා. ඒත් ඔයාලා අපේ රටට ඇවිත් ඒක වෙනස් කළා. ඔයාලා එහෙම කළේ කලින් අපේ රටේදිම දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක්වෙලා තියෙද්දි. ඒක අපිට කවදාවත්ම අමතක වෙන්නෙ නෑ. ඇත්තටම අපි ඔයාලට ණයගැතියි.”

“අපි දන්නවා ඔයාලගේ රට මේ වෙලාවෙ ප්‍රශ්න ගොඩකට මුහුණපාලා ඉන්නෙ කියලා. ඉතින් මම හිතනවා මේ පාර කුසලානෙ ඔයාල දිනනවා නම් හොඳයි කියලා. එකෙන් ඔයාලට ලොකු මුදලක් ලැබෙනවා විතරක් නෙමෙයි, ප්‍රශ්ණ වලින් හෙම්බත් වෙලා ඉන්න ඔයාලගෙ රටේ මිනිස්සුන්ට පොඩි වෙලාවකට හරි ප්‍රශ්න අමතක කරලා හිනා වෙන්න හේතුවක් ලැබෙනවා. ඒ නිසා මම සුබපතනවා. මේ පාර කප් එක අරගෙනම යන්න ලැබෙන්න කියලා. අයෙ දවසක හමුවෙමු.” සලීම්ගේ පිළිතුර විය. 

සලීම් පමණක් නොව මුළු මහත් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් දස දහස් ගණනක් බලාපොරොත්තු වූ පරිදිම අවසන් මහ තරගයේදී පාකිස්තානය පරාජය කරමින් මෙවර ආසියානු කුසලාන ශ්‍රී ලංකාවට දිනා දීමට දසුන් ශානක ප්‍රමුඛ තරුණයෝ කැළ සමත් වූහ. සලීම් පැවසූ ලෙසම එම ජයග්‍රහණය ප්‍රශ්න රැසකින් පීඩා විඳිමින් සිටි ශ්‍රී ලාංකීය ජනතාවගේ සිත් සතන් සනසාලීමටද හේතුවෙක් විය. 

එහෙත් කතාව එතැනින් නිමා නොවීය. තරගාවලියේ ආවරණ කටයුතු නිමවා අවසන් තරගයට පැවැති දිනට පසු දින එනම් ඉකුත් 12 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායමට දිවයිනට පැමිණීමටත් පෙර පැමිණි ගුවන් යානයකින් මම දිවයින බලා පැමිණියෙමි. පැය 8 ක පමණ වෙහෙසකාරී ගමණකින් පසුව නිවෙස කරා පැමිණීමෙන් පසුව දුරකතනයට ලැබී තිබූ ඇමතුම් සහ පණිවිඩ පරීක්ෂා කිරීමේදී සලීම්ගේ හඬ පණිවිඩක් මාගේ නෙත ගැටිණ.

“සහෝදරයා, පාකිස්තාන ජනතාව වෙනුවෙන් මම ශ්‍රී ලංකාවට මාගේ සුබ පැතුම් එක්කරනවා. ඔයගොල්ලො ලබපු ජයග්‍රහණය ගැන අපිට හුඟක් සතුටුයි. අපි බලාපොරොත්තුවෙන් හිටියෙ අවසන් තරගය ඔයාලා දිනාවි කියලා. ඔබව මුණගැසීම සතුටක්. නැවත හමුවෙනතුරු දෙවි පිහිටයි.” යැයි සලීම්ගේ හඬ පණිවිඩයේ පටිගත වී තිබිණ.

සටහන - ශානුක අරවින්ද ඩුබායි සංචාරයෙන් පසු..

 


අදහස් (1)

ශ්‍රී ලංකාවට ජය පැතූ පකිස්තානුවා
  • I K S CHANDRASIRI Saturday, 08 October 2022 07:39 PM

    වසර ගණනාවකට කළින්ම ඇෆ්ඝනිස්ථානයේ සේවය කළා. එකල ක්‍රිකට් සෙල්ලම් කළාම කුඩා පුතුට අවශ්‍ය බැට්, බෝල, පෑඩ් මම ඇෆ්ඝනිස්ථානයෙන් මිලදී ගත්තා. ඉතාම අඩු මුදලකට. ඒවා ඔවුන්ට ලබාදී තිබුණේ පාකිස්තානයෙන් ආධාර වශයෙන්. ක්‍රිකට් දියුණු කරන්න. නමුත් කඩවල ඒවා විකුණන්න තිබුණා. සලිම්ගේ කතාව ඇත්ත බව තේරෙනවා. ලියුම්කරුට ස්තුතියි..!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.