Last Update  :  2024-12-14 15:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව පරාජයේ අගාධයට ඇදී යයි
ඩර්බන් ටෙස්ට් තරගය

ශ්‍රී ලංකාව පරාජයේ අගාධයට ඇදී යයි

editorial - 2024 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම - දමින්ද විජේසූරිය)

ඩර්බන් නුවර කිංග්ස්මේඩ් පිටියේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (29 වැනිදා) සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 249 ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනැංවූ ටෙම්බා බවුමා (113) සහ ටි්‍රස්ටන් ස්ටබ්ස් (122) එක්ව ශ්‍රී ලංකාවට එරෙහි වාසිය ලකුණු 500 න් ඔබ්බට ගෙන ගියහ. 

තේ පානයට පෙර සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 366 ක් ලබාගත් දකුණු අප්‍රිකානුවෝ මෙම තරගය ජයගැනීමට නම් ලකුණු 516 ක් ලබාගන්නා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝග කළහ.
 
ඉසුඹුවක් නොලබාම තරගයට කඩාවැදුණු දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ තේ පානයෙන් පසුව යැවුණු ඕවර 31 කදී කඩුලු 5 ක් ලකුණු 101 කට දවාලමින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයේ අගාධය වෙතට තල්ලු කර දැමූහ. කගීසෝ රබාඩා සහ මාකෝ ජැන්සන් කඩුලු 2 ක් බැගින් ලබාගත් අතර ජෙරල්ඩ් කොඑට්සි හමුවේ පැතුම් නිස්සංක දැවී ගියේය. 

දිනේෂ් චන්දිමාල් (නොදැවී 29) සහ නායක ධනංජය ද සිල්වා (නොදැවී 00) පිටියේ රැඳී සිටිති. 

ශ්‍රී ලංකා කණ්ඩායම සිය ටෙස්ට් ඉතිහාසයේ ඉනිමකදී ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 42 කට දැවී යාම හේතුවෙන් දකුණු අප්‍රිකානුවන්ට හිමිවූ මුල් ඉනිමේ වාසිය ලකුණු 149 කි. 

තරගයේ දෙවැනි දිනයේදීම (ඊයේ) සිය දෙවැනි ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකානුවෝ දිනය අවසන් වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 132 ක් ලබා ගත්හ. අද පෙරවරුවේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිම බුරුළක් නොදුන් ටෙම්බා බවුමා සහ ටි්‍රස්ටන් ස්ටබ්ස් එක්ව තරගයේ වාසිය ඉදිරියට ගෙන ගියහ. 

ඊයේ සවස ඒඩ්න් මාක්රම් ලකුණු 35 ක් ලබා සිටියදී දුන් උඩපන්දුවක් ධනංජය ද සිල්වා වෙතින් ගිළිහී ගිය නමුත් එයින් වැඩිමනත් පාඩුවක් සිදු නොවූයේ විශ්ව ප්‍රනාන්දු විසින් මාක්රම් දවාගත් හෙයිනි. එහෙත් අද පෙරවරුවේදී ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ගිළිහී ගිය උඩපන්දුව නම් ශ්‍රී ලංකාවට බරපතළ අවාසි ගෙනෙන්නක් විය. 

පන්දු යැවීමට කැඳවන සෑම අවස්ථාවකදීම පාහේ විශ්ව ප්‍රනාන්දු මෙන්ම ප්‍රභාත් ජයසූරියත් තරගයේ වෙනසක් කළ හැකි අවස්ථා ශ්‍රී ලංකාවට නිර්මාණය කර දුන්නේය. එහෙත් ඒවා ග්‍රහණය කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට වාසනාව නොතිබිණ. 

ස්ටබ්ස් ලකුණු 35 ක් ලබා සිටියදී දුන් උඩපන්දුව මැතිව්ස් වෙතින් ගිළිහී ගිය අවස්ථාවේදී තණතීරුව මත දණින් වැටුණු වමත් වේග පන්දු යවන්නා හිස බිම ගසාගෙන විනාඩියක් පමණ සිටියේය. එතැන් සිට පසුපස නොබැලූ දකුණත් පිතිකරුවා ශ්‍රී ලාංකික පන්දු යවන්නන්ගේ හොඳ පන්දු වලට පවා පහර දෙමින් ශතකය ලබාගත්තේය. ශතකය ලබාගැනීමෙන් පසුව තරමක් ආක්‍රමණශීලී වීමට උත්සුක වූ ස්ටබ්ස් දැවී ගියේ විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවකට ගැසූ පහරක් වැරදීමෙන් පා ඉන්න ගැලවී විසිවී යාමෙනි. 

කදිම පුනරාගමනයක යෙදුණු නායක ටෙම්බා බවුමා පන්දු 201 කින් සිය ශතකය ලබාගත්තේය. මුල් ඉනිමේදී ලකුණු 01 ක් ලබා සිටියදී දුන් උඩපන්දුව රැකගැනීමට ශ්‍රී ලාංකිකයන් අපොහොසත් වූ හෙයින් ලකුණු 70 ක් ලබාගත් දකුණු අප්‍රිකානු නායකයා දෙවැනි ඉනිමේදී නම් ශ්‍රී ලාංකික පන්දු යවන්නන්ට අවස්ථාවක් නොදීම සිය ශතකය සම්පූර්ණ කිරීමට වගබලා ගත්තේය. පන්දු 228 කට මුහුණ දීමෙන් පසුව අසිත ප්‍රනාන්දුගේ පන්දුවකින් දැවී යන විට බවුමාගේ ඉනිම හතරේ පහර 9 කින් සමන්විත වී තිබිණ.

ඊයේ සවස් වරුවේ සිටම නොනැවතී පන්දු යවමින් සිටි ප්‍රභාත් ජයසූරියට විවේකයක් ලැබුණේ එකම ඕවරයක් සඳහා පමණි. එයද ඔහු පන්දු යවමින් සිටි අන්තය මාරු කිරීමටය. එක දිගට ඕවර 25 ක් යැවූ ප්‍රභාත් ජයසූරිය, දෙවැනි නව පන්දුව ලබාගැනීමෙන් පසුව තවත් ඕවර 15 ක් යැවීය. 

 


අදහස් (0)

ශ්‍රී ලංකාව පරාජයේ අගාධයට ඇදී යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.