Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වොලිබෝල් සංචිතයේ 8 කට ඩෙංගු

වොලිබෝල් සංචිතයේ 8 කට ඩෙංගු

editorial - 2021 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික වොලිබෝල් සංචිතයේ සියලු ක්‍රීඩකයන් කොවිඩ් ආසාදිතයන් බවට පත්ව ප්‍රතිකාර ගනිමින් සිටියදී ඔවුන්ගෙන් අට දෙනකු ඩෙංගු රෝගීන් බවටද පත්ව තිබේ. මෙම තත්ත්වය තහවුරැ කර ගැනීමෙන් පසුව ආසියානු වොලිබෝල් (පිරිමි) තරගාවලියට සහභාගි වීම අත්හැර දැමීමට ශ්‍රී ලංකාව අද (12) තීරණය කළේය.

ජපානයේ චීබා නුවරදී සැප්තැම්බර් 12 සිට 19 වැනිදා දක්වා රටවල් 16 ක සහභාගිත්වයෙන් ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතා  තරගාවලිය පැවැත්වීමට නියමිතය. ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීමේ අරමුණින් කොළඹ සුගතදාස හෝටලයේ නේවාසික පහසුකම්  සළසා තිබූ ජාතික වොලිබෝල් (පිරිමි) සංචිතයට ක්‍රීඩකයෝ 20 දෙනෙක් ඇතුත් වූහ.

පසුගිය අගෝස්තු 1 වැනිදා එහි නේවාසික පුහුණුවීම් ආරම්භවීමෙන් පසුව ක්‍රීඩකයන් හය දෙනෙකු හා එක් පුහුණුකරැවෙකු කොවිඩ් ආසාදිතයන් බවට  පළමුව හඳුනා ගැණුනි. පී.සී.ආර්. පරීක්ෂණ වලින් අනතුරැව පසුව හෙළිවූයේ සංචිතයේ ක්‍රීඩකයන් 20 දෙනාත් පුහුණු කාර්ය මණ්ඩලයත් ‘කොවිඩ්’ ආසාදිතයන් වී සිටින බවයි.

ඒ අතර දිගින් දිගටම අසනීප තත්ත්වයෙන් පෙළණු ක්‍රීඩකයන්ගේ වැඩිදුරටත් වෛද්‍ය පරීක්ෂාවේදී හෙළිවී ඇත්තේ ඔවුන්ගෙන් අට දෙනෙකුට ඩෙංගු රෝගයද වැළඳී ඇති බවයි. මෙම රෝගීන් මේ වනවිට ජයවර්ධනපුර මහ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බවද වාර්තාවේ.

‘‘සංචිතයේ රෝගීන් බවට පත්ව සිටින ක්‍රීඩකයන් නිරන්තරයෙන් වෛද්‍ය පරීක්ෂණයන්ට ලක් කළා.  එහිදී ලබා දුන් වෛද්‍ය නිගමනයන්ට අනුව ආසියානු තරග සංචාරය අත්හැර දමන්න වොලිබෝල් සම්මේලනය තීරණය කළා“ යයි ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පැවසීය.

“කොවිඩ් රෝගයෙන් පීඩා විඳින ක්‍රීඩකයන් ඩෙංගු රෝගීන්ද බවට පත්වීම වෛද්‍ය පරීක්ෂණවලදී දැඩි අවධානයට යොමු වුණා. එහිදී මෙම ආසියානු තරගාවලියට සහභාගි වෙන්න තරම් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය සුදුසු මට්ටමක රඳවා ගැනීම සැක සහිත බවයි වෛද්‍ය වාර්තාවෙන් කියැවෙන්නේ. විශේෂයෙන්ම ඩෙංගු රෝගීන් වීමෙන් ක්‍රීඩකයන් ශාරීරිකව දීර්ඝ කාලීනව දුබලතා වලින් පීඩා විඳිය හැකි බවත්  එම වෛද්‍ය නිගමනයෙන් කියැවෙනවා“ යයිද නාලක මහතා පැවසීය.

 මෙම වෛද්‍ය නිගමන වාර්තාව ලබාදී ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශ ජාතික ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී වෛද්‍ය ලාල් ඒකනායක මහතා ඇතුළු වෛද්‍ය කමිටුවක් විසිනි. ඒ අනුව වොලිබෝල් සම්මේලනයේ ලේකම්වරයා වැඩිදුරටත්  පවසන්නේ ආසියානු තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම  යැවීම දුෂ්කර බවයි. මෙම තරගාවලියට සහභාගි වන්නේ නම් ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් 6 වැනිදා වනවිට දිවයිනෙන් පිටත්ව යායුතුය.

 ආසියානු තරගාවලියෙන් ශ්‍රී ලංකාව ඉවත් වීමට ගත් තීරණයට පසුබිම් වූ කරැණු සම්බන්ධයෙන් වාර්තාවක් ආසියානු වොලිබෝල් සම්මේලනයට යොමු කිරීමට මේ වනවිට කටයුතු සූදානම් කරමින් තිබෙන බවත් ඔහු පැවසීය. තරගාවලියට ඇතුළත්වීමෙන් පසුව ඉවත් වන රටකට දඩ මුදලකට යටත්වීමට සිදුවේ. එය ඇමරිකානු ඩොලර් 35000ක් දක්වා වන මුදලකි.

“අපට ඉදිරිපත් කරන්න සාධාරණ හේතු තිබෙනවා. ඒ නිසා දඩ මුදලෙන් අපව නිදහස් කිරීමට ආසියානු සම්මේලනය පියවර ගනියි කියලා අප විශ්වාස කරනවා“ යයිද නාලක මහතා පැවසීය.

මෙම  සිදුවීමෙන් පසුව ජාතික වොලිබෝල් කාන්තා සංචිතයේ නේවාසික පුහුණුවීම් ආරම්භ කිරීමද වොලිබෝල් සම්මේලනය කල්දමා තිබේ. ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් කොළඹ සුගතදාස හෝටලයේ නවාතැන් ගෙන සිටි ක්‍රීඩා පුහුණු සංචිතවලට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රුසක් මීට පෙරත් ඩෙංගු රෝගයට ගොදුරු වූ බවට වාර්තා විය. වසර 2019 දෙසැම්බර් ‘කත්මන්ඩු’ නුවරදී පැවති 13 වැනි සාග් ක්‍රීඩා උළෙලට සහභාගිවීමේ අපේක්ෂාවෙන් එහි නේවාසික වී සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් මේ අන්දමට ඩෙංගු රෝගීන් බවට පත්වූහ.

මේ අතර කොවිඩ් රෝගය මේ වනවිට රට තුළ නැවත උත්සන්න වෙමින් පවතින තත්ත්වයක ක්‍රීඩා අමාත්‍යාංශ වෛද්‍ය ඒකකයය සියලු ජාතික ක්‍රීඩා සංගම් වෙත නව මාර්ගෝපදේශනයක් නිකුත් කරමින් උපදෙස්  දී ඇත්තේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නේවාසික පුහුණුවීම් පවත්වා ගෙන යා යුත්තේ ජෛව ආරක්ෂිත බුබුළක් යටතේ පමණක් බවයි.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ගාල්ල, දඩල්ලේ පවත්වා  ගෙන යන ජාතික වොලිබෝල් ක්‍රීඩා සංකීර්ණයේ තවමත් නේවාසිකාගාර සූදානම් කර නැති බැවින් ජාතික වොලිබෝල් (පිරිමි) සංචිතය මෙලෙස සුගතදාස හෝටලයේ නේවාසික ගත කිරීමට කටයුතු කළ බව වොලිබෝල් සම්මේලනය පවසයි.   

 


අදහස් (0)

වොලිබෝල් සංචිතයේ 8 කට ඩෙංගු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.