Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වොලිබෝල් ක්‍රීඩකයන් මීගමුව - ජපුර රෝහල්වල

වොලිබෝල් ක්‍රීඩකයන් මීගමුව - ජපුර රෝහල්වල

editorial - 2021 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික වොලිබෝල් සංචිතයේ නේවාසිකව පුහුණුවීම් කරමින් සිටියදී ඩෙංගු ආසාදිතයන් බවට පත්වූ ක්‍රීඩකයන් හත් දෙනකු මීගමුව හා ශ්‍රී ජයවර්ධනපුර රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටින බව වාර්තා වේ. ඔවුන්ගෙන් තිදෙනකු පසුගිය දිනවල මීගමුව රජයේ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා ද යොමුකර සිටි බව වාර්තා වේ.

ආසියානු වොලිබෝල් ශූරතාවලිය ඉලක්ක කරමින් කොළඹ සුගතදාස හෝටලයේ ජෛව බුබුළක් යටතේ ඔව්හු පසුගිය දිනවල නේවාසිකව පුහුණුවීම් කරමින් සිටියහ. එහෙත් මෙම සංචිතයේ සිටි වොලිබෝල් ක්‍රීඩකයන් 20 දෙනාම කොවිඩ් රෝගයට ගොදුරුවූ අතර ඔවුන්ගෙන් අට දෙනකු ඩෙංගු ආසාදිතයන් බවට ද හඳුනා ගැනිණි.

පුහුණු සංචිතය වහාම අත්හිටුවා ඔවුන් රෝහල්ගත කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කටයුතු කළේය. එහිදී ඩෙංගු රෝගය වැළඳුණු ක්‍රීඩකයන්ගේ තත්ත්වය බරපතළ වූ බැවින්, ඔවුන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට හා මීගමුව මහ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කෙරුණි.

උද්ගත වී තිබෙන තත්ත්වය පිළිබඳව ‘ලංකාදීප’යට අදහස් දැක්වූ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා, රෝහල්ගතව සිටින ක්‍රීඩකයන් සම්බන්ධයෙන් විශේෂයෙන් පත් කළ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානි, වෛද්‍ය ලාල් ඒකනායක මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයක් නිරතුරුවම පරීක්ෂාවෙන් සිටින බව පැවැසීය. මෙම සිදුවීමෙන් පසුව ලබන සැප්තැම්බර් 12 සිට 19 වැනිදා දක්වා ජපානයේ චීබා නුවරදී පැවැත්වීමට නියමිත ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතා තරගාවලියෙන් ඉවත්වීමට ශ්‍රී ලංකාව තීරණය කළේය.

එය ශ්‍රී ලංකාව ආසියානු වොලිබෝල් සම්මේලනයට නිල වශයෙන් දැනුම්දීමට මේ වනවිට පියවර ගෙන තිබේ. මෙම 26 වැනිදා තායිලන්තයේ බැංකොක් නුවර මූලස්ථානයේදී රැස්වෙන එහි විධායක සභාව ශ්‍රී ලංකාවේ ඉවත්වීමේ තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ එහිදී උත්සාහය වන්නේ ඉවත්වීමේ තීරණයට සාධාරණ හේතුන් දක්වා දඩ මුදලක් පැනවෙන්නේ නම් එයින් නිදහස්වීමයි. ආසියානු සම්මේලනයේ රෙගුලාසි අනුව නිශ්චිත හේතුන් නොමැතිව ඔවුන් මෙහෙයවන ජාත්‍යන්තර වොලිබෝල් තරගමාලාවලින් ඉවත් වන රටකට ඇමරිකානු ඩොලර් 35,000 ක දඩ මුදලක් නියම කෙරේ.

ශ්‍රී ලංකාවට මෙම තත්ත්වය හමුවේ ආසියානු වොලිබෝල් තරගාවලියෙන් ඉවත්වීමට සිදු වුවත් ලබන දෙසැම්බර් මාසයේ බංග්ලාදේශයේ සත්කාරයෙන් පැවැත්වීමට නියමිත මධ්‍යම ආසියානු වොලිබෝල් (පිරිමි) තරගාවලියට සහභාගි වීමට ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම තවදුරටත් අපේක්ෂාවෙන් පසුවන බව ද නාලක මහතා වැඩිදුරටත් පැවැසීය.

කොවිඩ් රෝගයට ගොදුරු වූ වොලිබෝල් සංචිතයේ සහාය පුහුණුකරුවකු වෛද්‍ය උපදෙස් මත කොළඹ සුගතදාස හෝටලයේ රැඳෙමින් නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටින බව ද වොලිබෝල් සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරයි.

 


අදහස් (0)

වොලිබෝල් ක්‍රීඩකයන් මීගමුව - ජපුර රෝහල්වල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.