Last Update  :  2026-02-08 22:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වාර්තා පොත අලුත් කරමින් නවසීලන්තය ජයගනී
විස්සයි-20 ලෝක කුසලාන

වාර්තා පොත අලුත් කරමින් නවසීලන්තය ජයගනී

editorial - 2026 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආරම්භක පිතිකරු ටිම් සේෆර්ට්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹයෙන් ජවය ලබාගත් නවසීලන්තය අද (ඉරිදා), ඉන්දියාවේ චෙන්නායි නුවරදී පැවැති ලෝක කුසලාන තරගයේදී ඇෆ්ගනිස්ථානය කඩුලු පහකින් පරාජය කරමින් විස්සයි-20 ලෝක කුසලාන තරගයකදී යාමට සිදුවූ ඉහළම ඉලක්කයට අවතීර්ණ වූහ.

දෙවැනි ඕවරයේදී පිට පිටම පන්දු දෙකකින් පිතිකරුවන් දෙදෙනකු දැවී ගිය නමුත් සිය වෘත්තීමය නිපුණතා මැනවින් ප්‍රකට කළ නවසීලන්ත පිතිකරුවෝ පන්දු 13 ක් ඉතිරිව තිබියදීම ජයටැඹ පසුකර යමින් කඩුලු 5 ක ජයක් අත්කර ගත්හ. 

නවසීලන්තය මීට පෙර විස්සයි-20 ලෝක කුසලාන තරගයකදී සාර්ථකව අවතීර්ණ වූ ඉහළම ඉලක්කය වූයේ 2021 අවසන් පූර්ව තරගයේදී එංගලන්තයට එරෙහිව ලකුණු 167 ක් ලබාගැනීමයි. 

“ටිකක් දැනෙන ලකුණු සංඛ්‍යාවකින් තරඟාවලිය ආරම්භ කිරීම සැමවිටම සතුටක්. කෝක වෙතත් ප්‍රධාන දෙය නම් අපට ජයග්‍රහණය ලැබීමයි” යයි තරගයේ වීරයා වූ ටිම් සේෆර්ට් පැවසීය.

“මුලදී ටිකක් අමාරු තත්වයක් තිබුණා. මුලින්ම කඩුලු දෙකක් අහිමි වුණා, ඒත් තරගය ජයගන්න ලැබීම සතුටක්” යයි ද සේෆර්ට් පැවසීය. 

ආරම්භයේදීම නවසීලන්තය අමාරුවේ දැමූ ඇෆ්ගනිස්ථානු දඟ පන්දු යවන ක්‍රීඩක මුජීබ් උර් රෙහ්මාන් දෙවන ඕවරයේ පිට පිට පන්දු දෙකකින් ෆින් ඇලන් සහ රචින් රවීන්ද්‍ර ආපසු ක්‍රීඩාගාරයට යැවීය. රචින් රවීන්ද්‍ර දැවීගියේ මුහුණ දුන් මුල්ම පන්දුවෙනි. කෙසේ වෙතත් මුජීබ් උර් රෙහ්මාන්ගේ කඩුලු ත්‍රිත්වය වළක්වා ගත් ග්ලෙන් පිලිප්ස්, සහ ටිම් සේෆර්ට් එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 74 ක් එකතු කරමින් ඇෆ්ඝනිස්ථානු දඟ පන්දු යවන්නන් මෙල්ල කරගත්හ. 

සේෆර්ඩ් ලකුණු 48 ක් ලබා සිටියදී පන්දු යවන්නාටද දුන් උඩපන්දුවක් පා දඟ පන්දු යවන රෂීඩ් ඛාන් විසින් අතහරින ලදි. සේෆර්ට් ඊට ප්‍රතිචාර දැක්වූයේ ඊළඟ ඕවරයේදී හයේ පහරකින් සිය අර්ධ ශතකය ලබාගනිමිනි. එම ඕවරයේදීම මොහොමඩ් නබීට තවත් හයේ පහරකින් සහ හතරේ පහරකින් සංග්‍රහ කිරීමට ටිම් සේෆර්ට් ඉදිරිපත් වූ නමුත් අවසානයේදී මොහොමඩ් නබී විසින්ම සේෆර්ට් දවාගන්නා ලදි. 

ග්ලෙන් පිලිප්ස් (පන්දු 25 න් ලකුණු 42 ක්) සහ මාක් චැප්මන් (පන්දු 17 න් ලකුණු 28) දෙදෙනාට පසුව වගකීම කරට ගත් නායක මිචෙල් සෑන්ට්නර් පන්දු 8 කින් ලකුණු 17 ක් ලබාගත්තේ සිය කණ්ඩායම ජයටැඹ පසුකර කැඳවාගෙන යමිනි. 

“අපි පන්දුව නිවැරදි ප්‍රදේශවල පතිත කළේ නෑ” යයි රෂීඩ් ඛාන් පැවසීය.

කාසියේ වාසිය දිනාගත් ඇෆ්ඝනිස්ථානය පළමුවෙන් පිතිහරඹය තෝරාගත් නමුත් ලකුණු 44 කට කඩුලු 2 ක් අහිමිකරගෙන සිටියේය. එහෙත් අංක 3 පිතිකරුවා ලෙසින් පැමිණි ගුල්බදින් නයිබ් (පන්දු 35 කදී ලකුණු 63 ක්) සහ සදිකුල්ලා අතල් එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 79 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ඇෆ්ඝනිස්ථානු පිල ගොඩ ගත්හ. 

ගුල්බදීන් නයිබ් පන්දු 29 කදී සිය අර්ධ ශතකය ලබාගත් නමුත් ඇෆ්ඝනිස්ථානුවන් ලබාගත් ලකුණු 182 තරගයේ ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය. 


ඇෆ්ඝනිස්ථානය - ඕවර 20 කදී කඩුලු 6 ට 182 යි
(රමනුල්ලා ගුර්බාස් 27, ඊබ්‍රහිම් සද්රාන් 10, ගුල්බදීන් නයිබ් 63, සදිකුල්ලා අතල් 29, දාර්විශ් රසූලි 20, අස්මතුල්ලා ඔමර්සායි 14, මොහොමඩ් නබී නොදැවී 10, ලොකී ෆර්ගසන් 40/2)

නවසීලන්තය - ඕවර 17.5 කදී කඩුලු 5 ක් දැවී 183 යි
(ටිම් සේෆර්ට් 65, ග්ලෙන් පිලිප්ස් 42, මාක් චැප්මන් 28, ඩැරිල් මිචෙල් නොදැවී 25, මිචෙල් සෑන්ට්නර් නොදැවී 17, මුජිබුර් රෙහෙමාන් 31/2)

 - 213

 


අදහස් (0)

වාර්තා පොත අලුත් කරමින් නවසීලන්තය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.