Last Update  :  2025-07-13 22:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මලල ක්‍රීඩා නිලවරණය සිව් කොන් සටනක්..?

මලල ක්‍රීඩා නිලවරණය සිව් කොන් සටනක්..?

editorial - 2025 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

අගෝස්තු18 වැනිදාට දින නියමවී තිබෙන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ (2025 - 27) නිලවරණය සිව් කොන් සටනක් වනු ඇතැයි වාර්තාවේ.

එහිදී ප්‍රවීන මලල ක්‍රීඩා පුහුණුකරු සුනිල් ගුණවර්ධන, ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ වත්මන් සභාපති, හිටපු නියෝජ්‍ය පොලිස්පති උපාලි කුමාරසිරි, හිටපු යගුලිය සහ කවපෙත්ත විසි කිරීමේ ජාතික ශූරයකු වන තලවොව් අලයිලීමා, වෙළද සේවා මලල ක්‍රීඩා සංගමයේ වත්මන්  සභාපති ප්‍රසන්න ඉන්දික යන මහත්වරු සභාපති ධූරයට නාමයෝජනා බාරදීමට සූදානමින් පසු වන බවද මේ වන විට ලැබෙන ආරංචි මාර්ග සදහන් කරයි.

සුනිල් ගුණවර්ධන මහතා මලල ක්‍රීඩා ආයතනයේ (එවකට සංගමය) හිටපු සභාපතිවරයෙකි. ප්‍රසන්න ඉන්දික මහතා මලල ක්‍රීඩා ආයතනයේ වත්මන් උප සභාපතිවරයෙකි. අලයිලීමා මහතා මලල ක්‍රීඩා ආයතනයේ (එවකට සංගමය) හිටපු උප සභාපතිවරයෙකි.

මේ අතර ප්‍රධාන ලේකම් ධූරය සදහා නැවැත ඉදිරිපත්වීම ගැන වත්මන් ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා මෙතෙක් අදහස් දැක්වීමක් කර නැත. ඒ අතර වාර්තා වන්නේ ක්‍රීඩා අමාත්‍යාංශ වෛද්‍ය ඒකකයේ කටයුතු කරන වෛද්‍යවරයෙකු මෙවර මලල ක්‍රීඩා නිලවරණයේදී ලේකම් ධූරයට ඉදිරිපත්වීම පිළිබදව අදහස් දක්වා තිබෙන බවයි.

මෙවර මලල ක්‍රීඩා නිලවරණය මෙහෙයවන නිලවරණ කමිටුවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතා කටයුතු කරයි.

මලල ක්‍රීඩා ආයතනයේ නොබෝදා පැවැති විශේෂ මහ සභා රැස්වීමේදී පත් කර ගත් නිලවරණ කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කේ.එම්.ජී.කුලතුංග හා හිටපු ක්‍රීඩා සහකාර අධ්‍යක්ෂ ආර්. බී. වික්‍රමසිංහ යන මහත්වරුන්ය.

මෙවර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය පැවැත්වීමේදී විශේෂත්වයක් වන්නේ එහි විධායක සභාවේ පත්වීම් 17 කට සීමාවී තිබීමය. මෑතදී වත්මන් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා හදුන්වා දුන් ක්‍රීඩා පනතේ ජාතික ක්‍රිඩා සංගම් නව රෙගුලාසී අනුව ජාතික ක්‍රීඩා සංගමයක විධායක සභාව උපරිම 17 කට සීමා කර තිබීම ඊට හේතුවයි.

කෙසේවූවත් මලල ක්‍රීඩා ආයතනයේ වත්මන් විධායක සභාවේ අසුන් ගණන 39 කි. නව රෙගුලාසි අනුව ජාතික ක්‍රීඩා සංගමයක උප සභාපති ධූර ගණනත් තුනකට සීමා කර තිබේ. එයින්ද එක් උප සභාපති ධූර අසුනක් පාසල් සංගමයට නිල වශයෙන් වෙන් කළ යුතුය.

එහෙත් මලල ක්‍රීඩා ආයතනයේ මෙතෙක් ක්‍රියාත්මකවූ විධායක සභාවේ උප සභාපති ධූර ගණන අටක් විය. මලල ක්‍රීඩා ආයතනයේ සාමාජික අනු සංගම් ගණන 39 කි. නව ක්‍රීඩා රෙගුලාසි යටතේ මෙවර නිලවරණය කැදවීමේදී ඡන්ද බලය හිමි වන සාමාජිකයන් (සංගම්) පිළිබදව අවසන් තීරණය ගන්නේ නිලවරණ කමිටුව විසිනි.

නිලවරණය සදහා නාමයෝජනා කැදවීම ජූලි 26 වැනිදා සිට ආරම්භ වීමට නියමිතය. 

වත්මන් සභාපති මේජර් ජනරාල් (විශ්‍රාමික) පාලිත ප්‍රනාන්දු මහතා නව රෙගුලාසී වලට අනුකූලව යමින් මෙවර නිලවරණයට ඉදිරිපත් නොවේ.

වත්මන් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය, ආසියානු රන් පදක්කම්ලාභී සුගත් තිලකරත්න මහතා ශ්‍රී ලංකා මලල ක්‍රිඩා ආයතනයේ හිටපු (2015 - 17) එවකට සංගමය)සභාපතිවරයෙකි.


අදහස් (0)

මලල ක්‍රීඩා නිලවරණය සිව් කොන් සටනක්..?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.