Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බාබර් අසාම් කෝලිව තල්ලු කරයි

බාබර් අසාම් කෝලිව තල්ලු කරයි

editorial - 2021 අප්‍රේ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර එකහමාරකට පමණ පසු, එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම් පෙරමුණේ වෙනසක් කරමින් පළමු වරට එහි පෙරමුණට පැමිණීමට පාකිස්තානු කණ්ඩායමේ නායක බාබර් අසාම් සමත් වී ඇත. නවතම එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලකුණු 865 ක් ලබාගනිමින් ඔහු එක්දින පිතිකරුවන් අතර ප්‍රමුඛයා වී සිටී.

එක්දින පිතිකරුවන් අතර පෙරමුණට පැමිණි සිවුවැනි පාකිස්තාන ක්‍රීඩකයා ලෙස අසාම් වාර්තා අතරට එක්වන අතර ඔහුට පෙර සාහීර් අබ්බාස් (1983 වසරේදී), ජාවෙඩ් මියැන්ඩාඩ් (1988 වසරේදී) සහ මොහොමඩ් යූසෆ් (2003 වසරේදී) එක්දින පිතිකරුවන් අතර පෙරමුණ ගත්හ.

අසාම් එක්දින පිතිකරු ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණට පැමිණ ඇත්තේ දින 1258 ක් පුරා එහි පෙරමුණේ රැදී සිටි ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි දෙවැනි ස්ථානයට ඇද දමමිනි. මේ වන විට කෝලි, ලකුණු 857 ක් ලබා අසාම්ට වඩා ලකුණු 8 ක් පසුපසින් සිටියි.

2017 වසරේ ඔක්තෝබර් මාසයේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඒ.බී. ඩිවිලියර්ස් පසුපසට තල්ලු කරමින් කෝලි එක්දින පිතිකරු ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණට පැමිණියේය. පිට පිටම වැඩිම දින ගණනක් එම ලැයිස්තුවේ පෙරමුනේ රැදී සිටි පිතිකරුවන් අතර දෙවැනි ස්ථානය කෝලිට අහිමි වූයේ දිනයක අඩු වීමකිනි.

පිට පිටම දින 1748 ක් එක්දින පිතිකරු ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණේ රැදී සිටි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක විවියන් රිචඩ්ස් එම වාර්තාවට හිමිකම් කියන අතර ඕස්ටේ්‍රලියානු ක්‍රීඩක මයිකල් බෙවන් එහි දෙවැනි ස්ථානයේ පසුවන්නේ දින 1259 ක් එම ලැයිස්තුවේ පෙරමුණේ රැදී සිටිමිනි.

ශ්‍රේණිගත ලකුණු 837 ක් සමග දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලිය ආරම්භ කළ අසාම්ට, පළමු තරගයේදී ලකුණු 103 ක් රැස්කිරීම හේතුවෙන් කෝලි අභිබවා යමින් ශ්‍රේණිගත ලකුණු 858 ක් ලබාගැනීමට හැකි විය.

එහෙත් දෙවැනි තරගයේ ලකුණු 32 කට දැවී යෑම හේතුවෙන් ඔහු නැවතත් ශ්‍රේණිගතකිරීම්හි දෙවැනි ස්ථානයට ඇදවැටුණු අතර පසුගිය සතියේ ශේණිගත කිරීම් යාවත්කාලීන කරන විට ඔහු ලකුණු 852 ක් ලබා සිටියේය. කෙසේ වුවත් තෙවැනි තරගයේදී ලකුණු 94 ක් ලබාගැනීමත් සමග පහසුවෙන්ම කෝලි පසුකර යමින් ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණ හිමිකර ගැනීමට අසාම් සමත් විය.  

“මම මීට පෙරත් විස්සයි20 ශේණිගතකිරීම්වල ඉහළින්ම සිටියා. නමුත් අවසාන අභිලාෂය හා ඉලක්කය වෙන්නේ ටෙස්ට් ශේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමයි. එය පිතිකරුවෙකුගේ සැබෑ පන්නරය, කුසලතාව සහ කීර්තිය පිළිබඳ සැබෑ සාක්ෂිය හා ත්‍යාගයයි.” යැයි එක්දින ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණ ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අසාම් පැවසීය.

-036


අදහස් (0)

බාබර් අසාම් කෝලිව තල්ලු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.