Last Update  :  2025-09-13 22:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බර්මින්හැම් වියදම කෝටි 10 යි

බර්මින්හැම් වියදම කෝටි 10 යි

editorial - 2022 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

එංගලන්තයේ ‘බර්මින්හැම්’ නුවරදී නිමාවට පත්වූ 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ සහභාගිත්වය වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුව රුපියල් මිලියන 100 ක් පමණ වැය කළ බව එහි සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පැවසීය.

එම අරමුදල් ලබා ගන්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ අනුග්‍රහයෙන් බවත් රටේ කොපමණ ආර්ථික දුෂ්කරතා පැන නැගී තිබුණත් රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුබසිද්ධිය තකා බර්මින්හැම් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරග සංචාරය සාර්ථක කර ගැනීමට ජාතික ඔලිම්පික් කමිටුව එහිදී උනන්දු වී සිටි බවත් සුබ්‍රමනියම් මහතා වැඩිදුරටත් පැවසුවේ ජාතික ඔලිම්පික් කමිටුවේ මෙහෙයවීමෙන් ‘බර්මින්හැම්’ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පදක්කම්ලාභීන් පිළිගැනීම සඳහා ඊයේ (25) එහි පැවැති උත්සවයකදීය.

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා මෙසේද පැවසීය.

‘‘ශ්‍රී ලංකා  ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හා නිලධාරීන් 161 දෙනකුගේ වන්දනා නඩයක් ‘බර්මින්හැම්’ නුවරට ගිය බව ඇතැම් මාධ්‍යවල පළ වී තිබුණා. එහිදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරුදන්වූවන් පිළිබඳ මාධ්‍ය වාර්තා පළවුණා.

‘‘බර්මින්හැම් නුවරදී අතුරුදන් වූවන් පිළිබඳව කතා කිරීමෙන් දැන් පළක්  නෑ. ඔවුන් පිළිබඳව සියලු තොරතුරු මේ වනවිට බර්මින්හැම් පොලිසියට හා එංගලන්ත ආගමන හා විගමන ප්‍රධානීන් අතට පත්  කරන්න ජාතික ඔලිම්පික් කමිටුව කටයුතු  කළා.
මේ අතුරුදන්වීම් ජාතික  ඔලිම්පික් කමිටුවට පාලනය කරන්න පුළුවන් දේවල් නෙවෙයි. බර්මින්හැම් පොලිසිය කියන්නේ ඔවුන්නට මාස හයක කාලයක් එංගලන්තයේ රැඳී සිටින්න වලංගු වීසා කාලයක් ලැබිලා තිබෙන හින්දා එය ගෙවෙන තුරු ඔවුන්ට එරෙහිව මොකවත් කරන්න බෑ කියලායි.’’

මෙම උත්සවයේදී මාධ්‍යවේදීන්ට පිළිතුරු දුන් ජාතික  ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා බොහෝ ජාතික ක්‍රීඩා සංගම්හි කාර්යභාරයක්ද සිය කමිටුවට කිරීමට සිදුව ඇතැයි පැවසීය. ඔලිම්පික් කමිටුව  ක්‍රීඩා ඉසව් 20කට විතර දැනට අනුග්‍රාහයද  දක්වලා තිබෙනවා.

“බර ඉසිලීමේ ඉසව්වේ ශ්‍රී ලංකාවේ 2006 සිට දැක්වූ  දස්කම් මෙදා ලෝකඩ පදක්කමට බැස්සා. මලල ක්‍රීඩා සංගමය ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් නිලධාරීන්ට ඡන්දය නොදුන්නත් ඔවුන් වෙනුවෙනුත් අපි යුතුකම් උවමනාවටත් වඩා කර තිබෙනවා.“ යයි  මැක්ස්වෙල් ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර කෙටි ධාවන ශූරී අමාෂා ද සිල්වාට ඉදිරියේදී මාස දෙකක නේවාසික පුහුණුවක් ජැමෙයිකාවේදී ලබාදීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුව රුපියල් මිලියන පහක මුදලක් වැය කිරීමට සූදානම් වේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ පිළිගැනීමේ උත්සවයට සහභාගි වූ ‘බර්මින්හැම්’ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා පදක්කම්ලාභීන් වන පාලිත බණ්ඩාර(රිදී පදක්කම්ලාභී පැරා ක්‍රීඩක), ඩිලන්ත කුමාර (බර ඉසිලීමේ ලෝකඩ පදක්කම් ලාභී) හා නෙත්මි අහිංසා ප්‍රනාන්දු (මල්ලවපොර ලෝකඩ පදක්කම් ලාභිණී)

ඡායාරූප -  හිමත් මතීෂ


අදහස් (0)

බර්මින්හැම් වියදම කෝටි 10 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.