
ප්‍රංශ පාපැදි සවාරියේ 18 වැනි අදියර ජයගැනීමට මේ වන විට සමස්ත තරගයේ පෙරමුණේ පසුවන ස්ලෝවේනියාවේ ටඩෙජ් පොගාකාර් ඊයේ (15 වැනිදා) සමත් විය. පෝ නගරයේ සිට ලූස් ආර්ඩිඩන් නරගය දක්වා කිලෝ මීටර් 129.7 ක දුරකින් සමන්විත වූ අතර එම අදියර නිමා කිරීම සඳහා පොගාකාර්ට ගත වූ කාලය පැය 3 යි, විනාඩි 33 යි, තත්ත්පර 45 කි.
විසි දෙහැවිරිදි වියේ පසුවන පොගාකාර් ප්‍රංශ පාපැදි සවාරියක අදියරක් ජයගත් හයවැනි අවස්ථාව මෙය විය. පොගාකාර්ට වඩා තත්ත්පර 02 ක් පසුපසින් තරගය නිමා කළ ඩෙන්මාර්කයේ ජොනාස් වින්ජ්ගාඩ් දෙවැනියා ලෙසද, ඉක්වදෝරයේ රිචඩ් කරපාස් තෙවැනියා ලෙස 18 වැනි අදියර නිමා කළහ.
“මෙය විශ්වාස කළ නොහැකි ජයග්‍රහණයක්. එය ලබාගැනීමෙන් පසු මට ලොකු සතුටක් දැනුණා. තරගය අවසන් වීමට තවත් දින 3 ක් තිබෙනවා. එම අදියර 3 ත් සාර්ථක ලෙස අවසන් කිරීමට ලබාපොරොත්තු වෙනවා. මේ දක්වා පැමිණි ගමනේදී මට සහාය දැක්වූ සියලුම දෙනාට මම හුඟක් ස්තූතිවන්ත වෙනවා.” යැයි ජයග්‍රහණයෙන් අනතුරුව පොගාකාර් පැවසීය.
මෙම අදියරේ ජයත් සමග තවදුරටත් සමස්ත තරගයේ පෙරමුණ රැක ගැනීමටද පොගාකාර් සමත්ව සිටියි. ඒ අනුව ඔහු අද (16 වැනිදා) තරගයේ 19 වැනි අදියර සඳහාද කහ පැහැති බැනියම පැලඳ තරග වදිනු ඇත. මේ දක්වා පැවැති අදියර 18 නිමා කිරීම සඳහා පොගාකාර්ට පැය 75 යි, විනාඩි 00 යි, තත්ත්පර 02 ක කාලයක් ගත වී ඇත.
පොගාකාර්ට වඩා විනාඩි 5 යි තත්පර 45 ක් පසුපසින් සිටින ඩෙන්මාර්කයේ ජොනාස් වින්ජ්ගාඩ් සමස්ත තරගයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර පොගාකාර්ට වඩා විනාඩි 5 යි, තත්පර 51 ක් පසුපසින් සිටින ඉක්වදෝරයේ රිචඩ් කරපාස් එහි තෙවැනි ස්ථානයේ රැදී සිටියි. ඕස්ට්‍රේලියාවේබෙන් ඕ'කෝනර් සිවුවැනි ස්ථානයට පත්ව ඇත්තේ පොගාකාර්ට වඩා විනාඩි 8 යි, තත්පර 18 ක් පසුපසින් සිටිමිනි.
18 වැනි අදියරේ ජයග්‍රාහකයෝ
1 ටඩෙජ් පොගාකාර් (ස්ලෝවේනියාව) - පැය 3:33:45
2 ජොනාස් වින්ජ්ගාඩ් (ඩෙන්මාර්කය) - පැය 3:33:47
3 රිචඩ් කරපාස් (ඉක්වදෝරය) - පැය 3:33:47
4 එන්රික් මාස් (ස්පාඤ්ඤය) - පැය 3:33:58
5 ඩෑන් මාටින් (ඊශ්‍රාලය) - පැය 3:34:09
6 සෙප් කූස් (ඇමරිකාව) - පැය 3:34:15
7 සර්ජියෝ හිගුයිටා (කොලොම්බියාව) - පැය 3:34:18
8 බෙන් ඕ'කෝනර් (ඕස්ට්‍රේලියාව) - පැය 3:34:19
9 විල්කෝ කෙල්ඩර්මන් (නෙදර්ලන්තය) - පැය 3:34:19
10 ඇලෙජැන්ඩ්‍රෝ වැල්වර්ඩ් (ස්පාඤ්ඤය) - පැය 3:34:25
සමස්ත තරගයේ පෙරමුණ ගෙන සිටින්නෝ
1 ටඩෙජ් පොගාකාර් (ස්ලෝවේනියාව) - පැය 75:00:02
2 ජොනාස් වින්ජ්ගාඩ් (ඩෙන්මාර්කය) - පැය 75:05:47
3 රිචඩ් කරපාස් (ඉක්වදෝරය) - පැය 75:05:53
4 බෙන් ඕ'කෝනර් (ඕස්ට්‍රේලියාව) - පැය 75:08:20
5 විල්කෝ කෙල්ඩර්මන් (නෙදර්ලන්තය) - පැය 75:08:52
6 එන්රික් මාස් (ස්පාඤ්ඤය) - පැය 75:10:13
7 ඇලෙක්සි ලුට්සෙන්කෝ (කසකස්තානය) - පැය 75:11:24
8 ගුයිලුම් මාටින් (ප්‍රංශය) - පැය 75:12:48
9 පෙලෝ බිල්බාවෝ (ස්පාඤ්ඤය) - පැය 75:13:50
10 රිගෝබර්ටෝ යුරන් (කොලොම්බියාව) - පැය 75:16:27




-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.