Last Update  :  2026-02-07 18:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානුවෝ නූලෙන් බේරෙති
විස්සයි-20 ලෝක කුසලාන

පාකිස්තානුවෝ නූලෙන් බේරෙති

editorial - 2026 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය) 

ඉලක්කය කරා යාම අතර මැදදී තරමක තැතිගැන්මන් පෙන්වූ පාකිස්තානුවන්ගේ ගෙල සිර කිරීමට නෙදර්ලන්තය සමත් විය. එහෙත් ගිළිහීගිය උඩපන්දුවකින් වාසනාව උදාකරගත් ෆාහිම් අශ්රෂ් කඩුලු 3 ක ජයක් කරා පාකිස්තානු කණ්ඩායම කැඳවාගෙන ගියේය. ඉන්දියාවට එරෙහිව ලබන 15 වැනිදා පැවැත්වීමට නියමිත තරගය තවමත් අවිනිශ්චිත තත්ත්වයක තිබියදී පාකිස්තානු කණ්ඩායම කොළඹ එස්.එස්.සී. පිටියේදී අද, (7 වැනිදා) අත්කරගත් ජයග්‍රහණය ඔවුන්ගේ මහත් සැනසීමට කාරණාවකි. 

නෙදර්ලන්තය මෙන්ම පාකිස්තානයද ප්‍රවේගකාරී ආරම්භයක් ලබාගත් නමුත් ලකුණු 2 ක් ඇතුළත කඩුලු 3 ක් බිඳවැටීම නිසා පාකිස්තානු ඉනිම තරමක් සසළ විය. ඕවර 11 ක් නිමාවේදී කඩුලු 2 කට ලකුණු 98 ක් ලෙසින් සටහන් වූ පාකිස්තානු ලකුණු පුවරුව, පන්දු 10 කට පසුව සටහන් කළේ කඩුලු 3 කට 100 ක් ලෙසිනි. සහිබඩ්සා ෆර්හාන්, උස්මන් ඛාන් සහ බාබර් අසාම් මෙම පන්දු 10 ඇතුළත දැවී ගිය පිතිකරුවෝ වූහ. 

15 වැනි ඕවරය නිමාවේදී කඩුලු 5 ට 112 ක් ලබා සිටි පාකිස්තානු පිලට තරගය ජයගැනීමට නම් අවසන් ඕවර 5 දී ලකුණු 37 ක් අවශ්‍ය වී තිබිණ. එහෙත් 18 වැනි ඕවරය නිමාවන විට ලකුණු 119 ට කඩුලු 7 ක් බිඳ වැටී තිබුණු බැවින් පාකිස්තානයට පන්දු 12 කින් ලකුණු 29 ක් අවශ්‍යව තිබිණ. 

19 වැනි ඕවරයේ පළමු පන්දුවට හයේ පහරක් ගැසූ ෆාහිම් අෂ්රෆ්, ඊළඟ පන්දුවට දුන් උඩපන්දුව ලෝන්ග් ඕෆ් හි සිටි මැක්ස් ඕ’ඩාවුඩ්ගේ දෑතින් ඉවතට පැන්නේය. උඩපන්දුව ගිළිහීමෙන් වාසනාව උදාකරගත් අශ්රෆ් එතැන් සිට ලකුණු ලබාගත් අකාරය සටහන් වූයේ 6, 0, 6, 4, 0 සහ 4 ක් ලෙසිනි. ෆාහිම්ගේ අවසන් හතරේ පහරකින් පාකිස්තානය ජයගත්තේය. 

නෙදර්ලන්තයේ ආරම්භය ප්‍රහාරාත්මක වූ නමුත් සම්පූර්ණ වශයෙන් වෘත්තීමය ක්‍රීඩාවකට අවතීර්ණ වූ පාකිස්තානුවෝ තරගයේ අවසන් ඕවර 4 දී අවසන් කඩුලු 5 ම දවාගත්හ. නියමිත ඕවර 20 නිමාවීමටත් පෙර, නෙදර්ලන්තය ලකුණු 147 කට දැවී ගියේය.  

නෙදර්ලන්තය වෙනුවෙන් ප්‍රහාරාත්මක ආරම්භයක් ලබාගත් මයිකල් ලෙවිට් විසින් ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක පන්දුවම හතරේ සීමාවට යැවීය. ලෙවිට්ගේ පා ඉන්න එල්ලේ පතිත වූ ශහීන් ෂා අෆ්රීඩිගේ මුල්ම පන්දුව අලංකාර ෆ්ලික් පහරකින් හතරේ සීමාවෙන් එපිටට යැවූ ලෙවිට්, අෆ්රීඩිගේ ඊළඟ ඕවරයේදී ගැසූ පුල් පහරින් ඉගිළ ගිය පන්දුව ක්‍රීඩාංගණයෙන් පිටත පාරට වැටිණ. 

ලෙවිට් දැවී ගියේ බාබර් අසාම් සහ ශහීන් අෆ්රීඩි එක්ව අති විශිෂ්ට ආකාරයෙන් රැකගත් උඩපන්දුවකිනි. 

අෆ්රීඩිගේ ඕවර දෙකකින් ලකුණු 23 ක් උදුරාගත් හෙයින් 5 වැනි ඕවරය යැවීමට මොහොමඩ් නවාස් කැඳවන ලදි. නවාස්ගේ දෙවැනි පන්දුවට ලෙවිට් ගැසූ පහරින් පන්දුව පන්දු යවන්නාගේ හිසට ඉහළින් ඇදී යද්දී, ‘ලෝන්ග් ඕෆ්’ ස්ථානයේ සිටි බාබර් අසාම් එය රැකගැනීමට දිවගියේය.

එහෙත් පන්දුව හතරේ සීමාවට ඉහළින් යද්දී පිටියෙන් ඉවතට පැනගත් බාබර් අසාම් විසින් ඇතුළට තල්ලු කරන ලද පන්දුව ශහීන් අෆ්රීඩි රැකගත්තේ විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලෝකයට දායාද කළ පන්දු රැකීමේ කලාවට තවත් එක් උඩපන්දුවක් එකතු කරමිනි. 

තරගයේ ප්‍රහාරාත්මක ඕවර 6 නිමාවේදී ලකුණු 50 ක් පුවරුවට දමාගත් දෙනර්ලන්ත පිතිකරුවෝ එතැන් සිට සැලසුමක් ඇති පිතිහරඹයක නිරත වූහ. සෑම ඕවරයකදීම ලකුණු 7 ක් හෝ ඊට වැඩියෙන් ලබාගත් නෙදර්ලන්ත පිතිකරුවෝ 10 වැනි ඕවරය නිමාවේදී ලකුණු 79 ක් පුවරුවට දමාගත්හ. 

තරගාවලියට පෙර පැවැති මූලික මාධ්‍ය හමුවේදී නෙදර්ලන්ත නායක ස්කොට් එඩ්වඩ්ස් කියා සිටියේ මෙවර ලෝක කුසලාන තරගාවලියේදී හොඳ දස්කම් දක්වමින්, නෙදර්ලන්තයේ පාපන්දු ක්‍රීඩාවට සහ රග්බි ක්‍රීඩාවට ඇදෙන තරුණයන් ක්‍රිකට් ක්‍රීඩාව වෙත ගෙන්වා ගැනීම තම අරමුණ බවයි. තම ප්‍රකාශයට සාධාරණය ඉටුකළ නෙදර්ලන්ත නායකයා, පන්දු 29 කින් ලකුණු 37 ක් ලබාගත්තේ හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම අලංකාර කරමිනි. 

16 වැනි ඕවරය නිමාවේදී ස්කොට එඩ්වඩ් දැවී නොගියා නම් අවසන් ඕවර 4 දී නෙදර්ලන්තයට වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමේ අවස්ථාව තිබිණ. අවසන් ඕවර 4 දී නෙදර්ලන්තයට ලබාගත හැකිවූයේ ලකුණු 20 ක් වූ අතර එම කාලයේදී නෙදර්ලන්තයේ අවසන් පිතිකරුවෝ පස්දෙනාම දැවී ගියහ. 

බාබර් අසාම් සහ ශහීන් ෂා අෆ්රීඩි එක්ව රැකගත් මයිකල් ලෙවිට්ගේ උඩපන්දුව හේතුවෙන් නෙදර්ලන්ත පිතිහරඹයේ රිද්මය බිඳීගියේය. ස්කොට් එඩ්වඩ් ධෛර්ය සම්පන්නව ඉදිරියට ගිය නමුත් නායකයාගේ දැවී යාමෙන් පසුව සෙසු පිතිකරුවෝ වල්මත්ව ගියහ. 


නෙදර්ලන්තය - ඕවර 19.5 කදී සියලු දෙනා දැවී 147 යි
(මයිකල් ලෙවිට් 24, බස් ඩි’ලීඩි 30, කොලින් ඇකර්මන් 20, ස්කොට් එඩ්වඩ්ස් 37, ආර්යන් දත් 13, සල්මන් මිර්සා 24/3, මොහොමඩ් නවාස් 38/2,  අබ්රාර් අහමඩ් 23/2, සයිම් අයුබ් 07/2)

පාකිස්තානය - ඕවර 19.3 කදී කඩුලු 7 ක් දැවී 148 යි
(සහිබඩ්සා ෆර්හාන් 47, සයිම් අයුබ් 24, සල්මන් අඝා 12, බාබාර අසාම් 15, ෆාහිම් අශ්රෆ් නොදැවී 29, ආර්යන් දත් 33/2, පෝල් වැන් මීකර්න් 20/2)

 


අදහස් (0)

පාකිස්තානුවෝ නූලෙන් බේරෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.