Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දැවැන්තයන් යළි කැඳවන රෝඩ් සේෆ්ටි ක්‍රිකට්

දැවැන්තයන් යළි කැඳවන රෝඩ් සේෆ්ටි ක්‍රිකට්

රොෂාන් ගුණරත්න - 2021 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධන කිරීම අරමුණු කරගත් විස්සයි-20 තරගාවලියක් වන “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස්” ක්‍රිකට් තරගාවලිය යළිත් මාර්තු 2 වැනිදා සිට 21 වැනිදා දක්වා ඉන්දියාවේ රායිපූර් හිදි ආරම්භ කිරීමට මේ වනවිට සංවිධාන කටයුතු කරමින් පවති.

පළමු “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස්” ක්‍රිකට් තරගාවලිය පසුගිය (2020) වසරේ මාර්තු 7 වැනිදා සිට 22 වැනිදා දක්වා මුම්බායි සහ පූනේ නගරවලදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. නමුත් කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මාර්තු 11 වැනිදා පැවැති සිව්වැනි තරගයෙන් පසුව තරගාවලිය අතරමග නවතා සියළුම කණ්ඩායම් නැවතත් සිය රට බලා පිටත්ව ගියේය.

තරගාවලිය නතර කළ තැනින් යළිත් ආරම්භ කිරීමට සංවිධායකයන් කටයුතු කර ඇති අතර ඉන්දියා ලෙජන්ඩ්ස්, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්, බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් සහ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් යන කණ්ඩායම් වලට අමතරව තවත් කණ්ඩායම් දෙකක් තරගාවලියට එක්කර ගැනිමට තීරණයවී ඇත. පසුගිය වසරේ තරගාවලියට එක්වූ ඕස්ටේ්‍රලියා ලෙජන්ඩ්ස් කණ්ඩායම සංචාරක සීමා කිරීම් හේතුවෙන් මෙවර තරගාවලියෙන් ඉවත්වී ඇති අතර ඒ වෙනුවට බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම ආදේශ කර ඇත. ඊට අමතරව එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමද තරගාවලියට එක්වන අතර ඒ අනුව මෙවර තරගාවලිය කණ්ඩායම් 6 ක් දක්වා ඉහළ යනු ඇත.

තරගාවලිය ආරම්භයේ සිට මේ සඳහා දායකත්වය දැක්වූ ක්‍රිකට් ලොව දැවැන්තයන් වූ සචින් තෙන්ඩුල්කාර්, විරේන්ද්‍ර සෙවාග්, බ්‍රයන් ලාරා සහ තිලකරත්න ඩිල්ෂාන් යළිත් වරක් ක්‍රීඩා පිටියට පිවිසෙනු ඇත. තරගාවලියේ ඉතිරි සියලුම තරග 65,000 කට අධික ප්‍රේක්‍ෂකයන් පිරිසකට නැරඹිය හැකි රායිපූර් හි ෂහීඩ් වීර් නාරායන් සිං ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

ලොවපුරා දේශීය විස්සයි-20 ලීග් තරගාවලි පවතින ආකාරයට පෞද්ගලික හිමිකම් ඇති කණ්ඩායම් අතර තරගාවලිය පැවැත්වේ. පළමු තරගාවලිය ටෙස්ට් ක්‍රීඩා කරන රටවලට පමණක් සීමාකර ඇත.

මෙම තරගාවලිය ප්‍රවර්ධනය කරන සංවිධායකයින් අතර වෘත්තීය කළමණාකරන කණ්ඩායම සහ මහාරාෂ්ඨ රජයේ මාර්ග ආරක්ෂක අංශයද අයත්වන අතර ඔවුන්ගේ සැලැස්ම වන්නේ මෙම තරගාවලිය ඉන්දියාව පුරා වසර 10 ක පමණ කාලයක් පැවැත්වීමටයි. ක්‍රීඩකයින්ගේ ගෙවීම් බලයලත් ආයතන විසින් කරනු ලබන අතර මෙම තරගාවලියෙන් ලැබෙන ආදායම ඉන්දියාවේ මාර්ග ආරක්ෂාව වෙනුවෙන් කරනු ලබන වැඩසටහන් සඳහා යොදවනු ඇත.

මූලික වටයේදී සියලුම කණ්ඩායම් ප්‍රතිවාදී කණ්ඩායම් සමගින් තරග වදින අතර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක මාර්තු මස 21 වැනිදා රායිපූර් හිදී පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගනු ඇත.

මාර්ග ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීම සඳහා පසුගිය වසරේ විශාල බලාපොරොත්තුවක් හා පොරොන්දුවක් ලබා දී මෙම තරගාවලි ආරම්භ කළ නමුත්, පැවැති අභියෝගාත්මක හේතූන් නිසා තරගාවලිය අත්හිටුවීමට සිදු වූ බව මාර්ග ආරක්ෂණ තරගාවලියේ නිර්මාතෘ රවී ගයික්වාඩ් මහතා පැවසුවේය.

කෙසේ වෙතත් අපට නැවතත් එක්වීමට ලැබීම ගැන මම අතිශයින් සතුටු වන අතර, මෙම දුෂ්කර කාලවලදී මූලිකත්වය ගෙන කටයුතු කිරීම සඳහා එක් වූ ක්‍රීඩකයින්ට, නිලධාරීන්ට, අපගේ විකාශන හවුල්කරුවන්ට සහ අපගේ විශාල ශ්‍රම බලකායට මම ස්තූතිවන්ත වෙනවා යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

පැවැති තරග 4 න් දෙකකට සහභාගිවී ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ටේ්‍රලියාවට එරෙහිව පැවැති තරගය ජයගෙන ඇති අතර ඉන්දියාවට එරෙහිව පැවැති තරගය පරාජයට පත්වී ඇත. ඒ අනුව ඕස්ටේ්‍රලියාව වෙනුවට තරගාවලියට ආදේශ කර ඇති බංග්ලාදේශයට, ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන තරගය අහිමිවනු ඇත. එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමට සියළුම කණ්ඩායම් සමගින් තරග කිරීමට අවස්ථාව හිමිවනු ඇත.

පසුගිය වසරේදී තරගාවලියට එක්වූ විශ්‍රාමික ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මෙවර තරගාවලියට එක් නොවන බවත් ඒ වෙනුවට අලුතින් විශ්‍රාමික ක්‍රීඩකයින් ආදේශ කරන බවත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ කළමණාකරු ශ්‍යාම් ඉම්පෙට් මහතා පැවසීය.
රොමේෂ් කළුවිතාරණ, මුත්තයියා මුරලිදරන්, මාවන් අතපත්තු, චමින්ද වාස් සහ උපුල් චන්දන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමෙන් ඉවත්වී ඇති අතර ඒ වෙනුවට නුවන් කුලසේකර, ධම්මික ප්‍රසාද්, චින්තක ජයසිංහ සහ රසල් ආනල්ඩ් කණ්ඩායමට එක්වී සිටිති.

තවත් ප්‍රධාන පෙලේ විශ්‍රාමික ක්‍රිඩකයින් දෙදෙනෙකු සහභාගි වන බවට ඉඟි පළකළද ඔවුන් දෙදෙනාගේ සහභාගීත්වය තවමත් තහවුරු කර නොමැත.

මෙම තරගාවලියේදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් නොවන වෙනත් ක්‍රීඩාවකින් දක්ෂතා පෙන්නා ඇති එක් ක්‍රීඩකයකු කණ්ඩායමට ඇතුළත් කළ යුතුව ඇති අතර ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කරමින් ඒ සඳහා අවස්ථාව හිමිවී ඇත්තේ ශ්‍රී ලංකා රගර් කණ්ඩායමේ උපනායකයෙකු වශයෙන් කටයුතු කළ දුලාංජන විජේසිංහටය.

වසර 5 ක කාලයක් සඳහා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය ඉන්දියානු ජාතික යෂ් සර්දේසායි මහතාට අයත් සුගී සමූහ ව්‍යාපාරයට හිමිවී ඇත.


ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සංචිතය
තිලකරත්න ඩිල්ශාන් (නායක), චාමර කපුගෙදර, මලින්ද වර්ණපුර, දුලාංජන විජේසිංහ, රසල් ආනල්ඩ්, තිලාන් තුෂාර, රංගන හේරත්, අජන්ත මෙන්ඩිස්, ෆර්වීස් මහරූෆ්, නුවන් කුලසේකර, ධම්මික ප්‍රසාද්, චින්තක ජයසිංහ.

 


අදහස් (0)

දැවැන්තයන් යළි කැඳවන රෝඩ් සේෆ්ටි ක්‍රිකට්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.