Last Update  :  2026-02-26 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකානුවෝ අපරාජිතව ඉදිරියට
විස්සයි-20 ලෝක කුසලාන

දකුණු අප්‍රිකානුවෝ අපරාජිතව ඉදිරියට

editorial - 2026 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ පළමු කොටස යටතේ අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු පිල සමත් විය. මෙම ජයත් සමග සිය අපරාජිත බව රැකගෙන අවසන් පූර්ව වටයේ දොරකඩටම පැමිණීමටද දකුණු අප්‍රිකානු පිලට හැකි විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 177 ක ඉලක්කයක් හඹා ගිය අප්‍රිකානුවෝ ඕවර 16.1 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නායක ඒඩ්න් මාක්‍රම් පන්දු 46 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 82 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. මෙම අර්ධ ශතකයත් සමග සිය පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 264 ක් දක්වා ඉහළ දමාගනිමින් තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමටද මාක්‍රම් සමත් විය. 

ක්වින්ටින් ඩි’කොක් (47) සමග එක්ව ආරම්භක කඩුල්ල සඳහා පන්දු 48 කින් ලකුණු 95 ක් එක්කළ මාක්‍රම්, ඉන් නොනැවතී රයන් රිකෙල්ටන් (නොදැවී 45) දෙවැනි කඩුල්ල සඳහා පන්දු 49 කින් ලකුණු 82 ක්ද එක්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. පන්දු 24 කදී වාර්තා වූ ඩි’කොක්ගේ ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 4 කින්ද, පන්දු 28 කදී වාර්තා වූ රිකෙල්ටන්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින්ද සමන්විත විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව්වෝ ඕවර 20 අවසානයේ කඩුලු 8 ක දැවී ලකුණු 176 ක් ලබාගත්තේය. ලකුණු 83 කට කඩුලු 7 ක් බිඳවැටී අසීරු තත්වයකට පත්ව තිබූ කොදෙව් කණ්ඩායම එම තත්වයෙන් මුදවාගත් ජේසන් හෝල්ඩර් (49) සහ රොමාරියෝ ශෙපර්ඩ් (නොදැවී 52) අටවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 57 කදී ලකුණු 89 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. එය විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගයක අටවැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ ඉහළම සම්බන්ධතාවද විය. 

එහිදී පන්දු 37 කට මුහුණදුන් ශෙපර්ඩ් හයේ පහර 4 කින් සහ හතරේ පහර 3 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 31 කදී වාර්තා වූ හෝල්ඩ්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් අන්තර්ගත විය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලුන්ගි න්ගිඩි ලකුණු 30 කට කඩුලු 3 ක් බිඳහෙළුෑ අතර කගිසෝ රබාඩා සහ කෝබින් බොස්ච් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වූහ. 

 

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 176 
(බ්‍රෙන්ඩන් කිං 21, ශායි හෝප් 16, ජේසන් හෝල්ඩර් 49, රොමාරියෝ ශෙපර්ඩ් නොදැවී 52, ලුන්ගි න්ගිඩි 30/3, කගිසෝ රබාඩා 22/2, කෝබින් බොස්ච් 31/2) 

දකුණු අප්‍රිකාව - ඕවර 16.1 කදී කඩුල්ලක් දැවී 177 
(ඒඩ්න් මාක්‍රම් නොදැවී 82, ක්වින්ටින් ඩි’ කොක් 47, රයන් රිකෙල්ටන් නොදැවී 45) 

-036 


අදහස් (0)

දකුණු අප්‍රිකානුවෝ අපරාජිතව ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.