Last Update  :  2026-01-28 21:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජාතික මල්ලවපොර පිරිමි ශූරතාව වසර 25 කට පසුව ගුවන් හමුදාවට

ජාතික මල්ලවපොර පිරිමි ශූරතාව වසර 25 කට පසුව ගුවන් හමුදාවට

editorial - 2026 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී නිමාවට පත්වූ 83 වැනි ජාතික මල්ලවපොර  තරගාවලියේ (2025) සමස්ත ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දිනා ගන්නා ලදී.

එහිදී කාන්තා ශූරතාව අඛණ්ඩව 13 වැනි වතාවටත් ඔවුන් විසින් හිමි කර ගන්නා ලද අතර මෙවර පිරිමි ශූරතාව දිනා ගැනීමටද ඔවුන් සමත්වීමේ විශේෂ  වැදගත්කම වන්නේ එය වසර 25 කට පසුව ඔවුන් විසින් හිමි කර ගැනීමයි.

මෙම ජාතික ශූරතාවලිය සඳහා රට පුරා ප්‍රමුඛ මල්ලවපොර කණ්ඩායම් 10 ක් සහභාගී වූ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 170 දෙනකුට ආසන්න පිරිසක් ඊට සහභාගි විය. ගුවන් හමුදා කණ්ඩායම මුළු ලකුණු 34.5ක් ලබා ගනිමින් වසර 25කට පසු ජාතික ශූරතාව නැවතත් දිනා ගත් අතර කාන්තා ශූරතාව 13 වැනි වසරටත් තහවුරු කර ගැනීමේදී තරගාවලිය පුරා ඔවුන් ලකුණු 51 ක් රැස් කළේය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය කිලෝග්‍රෑම් 53 බර පංතිය  (කාන්තා) තරග වැදුණු ළාබාල ක්‍රීඩිකා ජී.පී. මංජරී (වෙල්පල්ල චැලෙන්ජර්ස්) ටත් දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය නාවික හමුදා ක්‍රීඩක සී.ඩී.අසංකටද හිමි වූහ.

මෙවර තරගාවලියේ විනිශ්චය කටයුතු මෙහෙයවීම ජාත්‍යන්තර මල්ලවපොර ව්නිසුරුවන් වන අමිත් බන්ඩාර වීරසිංහ හා ලසන්ත විජේකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධාන අධීක්ෂණයෙන් සිදු කෙරුණි.

ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ මහතා පැවසුවේ මෙම වසරට නියමිත නයිචි - නගෝරා ආසියානු ක්‍රීඩා උළෙල හා පොදු රාජ්‍ය මණ්ඩලයීය ශූරතා තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර මල්ලවපොර තරග මාලා සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායම් නිර්දේශ කෙරෙන ජාතික මල්ලවපොර (කාන්තා හා පිරිමි) මූලික සංචිත සදහා මෙවර ජාතික තරගාවලියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කැදවෙන බවයි.

මල්ලවපොර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා (2002 - බර්මින්හැම්) ශ්‍රී ලංකා පදක්කම්ලාභිණිය වන නෙත්මී අහිංසා ප්‍රනාන්දු කිලෝග්‍රෑම් 57 බර පංතිය (කාන්තා) ඉසව්ව පහසුවෙන්ම දිනා ගැනීමට සමත්වූවාය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගයෙන් තරගාවලිය සංවිධානය කෙරුණි.ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජය සංකේත ප්‍රධානෝත්සවය සිදු කෙරුණි.එම අවස්ථාවට ගුවන් හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ ගුවන් කොමදෝරු ප්‍රභාත් දිසානායක, ජාතික මල්ලවපොර සම්මේලනයේ උප සභාපති ගුවන් කොමදෝරු එරන්දික ගුණවර්ධන යන මහත්වරු ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.


අදහස් (0)

ජාතික මල්ලවපොර පිරිමි ශූරතාව වසර 25 කට පසුව ගුවන් හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.