Last Update  :  2026-01-31 14:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගියවර ශූරයෝ පතුලටම ලංගමත් කොට උඩ

ගියවර ශූරයෝ පතුලටම ලංගමත් කොට උඩ

editorial - 2026 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම හා කොළඹ ජාවාලේන් කණ්ඩායම අතර ඊයේ  (30) කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී ශූරයන්ගේ පාපන්දු  තරගාවලියේ සුපිරි අට වටය ආරම්භ කරමින් පැවැති පළමු තරගය ගෝල 1 - 1 ක් ලෙස සම විය.

පසුගිය නොවැම්බර් 19 වැනිදා ආරම්භ වූ තරගාවලියේ මූලික වටයට දිවයිනේ ප්‍රමුඛතම පාපන්දු කණ්ඩායම් 14 ක් සහභාගි විය.එහිදී ඒ හා බී යන කාණ්ඩ  දෙකකින් මූලික ලීග් වටයේ තරග පැවැත්විණි. එහි වැඩිම ප්‍රසාද ලකුණුලාභීන් වූ කණ්ඩායම් අටක් මෙසේ සුපිරි අට වටයට නිර්දේශවී සිටියි.

ඒ අනුව ඒ කාන්ඩයෙන් කොළඹ  සෝන්ඩර්ස්,පානදුර නිව් ස්ටාර්, මාවනැල්ල සෙරන්ඩිබ්,හා අවසන් වරට පැවැති තරගාවලියේ අනුශූරතාව ලද ජාවාලේන් යන කණ්ඩායම්ද හා බී කාන්ඩයෙන් කුරුණෑගල ෆෙලිකන්ස්, පොලිස්, අනුරාධපුරය සොලිඩ් හා යාපනය ශාන්ත මේරියන්ස් යන කණ්ඩායම්ද එම කාන්ඩ දෙකේ වැඩිම ප්‍රසාද ලකුණු ලබා ගත් අනුපිළිවෙළින් සුපිරි අට වටයට නිර්දේශ විය.

ලබන මාර්තු 24 වැනිදා දක්වා සුපිරි අට වටයේ තරග පැවැත්වේ.ඒ මෙතැන් සිට සෑම සති අන්ත දින දෙකේදීය.සුපිරි අට වටයේ සියලු තරගත් කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.

සුපිරි අට වටයේ තරග ඊයේ ආරම්භ වීමන් පසුව දෙවැනි තරගය සෝන්ඩර්ස් පිල හා පොලිස් පිල අතර ඊයේ රාත්‍රීයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

ආ (31) පස්වරු 4.00 සෙරන්ඩිබ් පිල හා ශාන්ත මේරි පිල අතරද හා රාත්‍රී 8 ට නිව් ස්ටාර් පිල හා සොලිඩ් පිල අතරද එහි තවත් තරග දෙකක් පැවැත්වීමට නියමිතය.

මූලික වටයේ තරග අවසන් වන විට ඒ කාණ්ඩයෙන් ගම්පොල ක්‍රිස්ටල් පැලස්, මීගමුව යූත් හා ශ්‍රී ලංගම යන කණ්ඩායම්ද බී කාණ්ඩයෙන් බේරුවල සුපර් සන්, මොරගස්මුල්ල ක්‍රී.ස.හා මාතර සිටි යන කණ්ඩායම්ද එහිදී ලද පසුබෑම හමුවේ එළියට විසි විය.

මූලික වටයේදී බී කාණ්ඩයේ හොදම ප්‍රගතිය තරග හයකින් තුනක් දිනා සෙසු තරග සම කළ පෙලිකන්ස් ක්‍රීඩකයන් උදා කර ගත්තේ ප්‍රසාද ලකුණු 12 කටය.

එහි අවසන් ස්ථානය දක්වා ඇද වැටුණු මාතර සිටි කණ්ඩායම තරග හයෙන් ජය ගත්තේ එකම තරගයක් පමණි.එහි විශේෂත්වය අවසන් වරට පැවැති (2023) තරගාවලියේ ශූරතාව දිනා ගත් ඔවුන්ගේ මෙවර දරුණු කඩා වැටීමයි.

මූලික වටයේදී ඒ කාණ්ඩයේ අපරාජිතව පසු වෙමින් සෝන්ඩර්ස් ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු 14 ක් ලබා එහි පෙරමුණ තහවුරු කර ගත්හ.මෙම තරගාවලියට නවක ශ්‍රී ලංගම වඩාත් අභාග්‍ය සම්පන්න තත්වයකට ඇද වැටුණේ මූලික වටයේ තරග හයෙන්ම පරාජය වෙමිනි.එම තරග පුරා ඔවුන්ට එරෙහිව ප්‍රතිවාදීන් ගෝල 30 ක් රැස් කරන අතර ඔවුන් ප්‍රතිවාදීන්ට එරෙහිව වාර්තා කළේ එකම ගෝලයක් පමණි.ඒ හේතුවෙන් මූලික වටයට සහභාගි වූ කණ්ඩායම් 14 න් කිසිඳු ප්‍රසාද ලකුණක් ලබා ගැනීමට අපොහොසත් වූ  එකම කණ්ඩායම බවට පත්වීමට තරම් එහිදී ඔවුහූ අවාසනාවන්ත වූහ.

ඊයේ ආරම්භ වූ සුපිරි අට තරග වටයත් ලීග් ක්‍රමයට ප්‍රතිවාදීන් එකි නෙකා මුණ ගැසෙන කාණ්ඩ දෙකකින් මාර්තු 24 වැනිදා දක්වා පැවැත්වේ.අනතුරුව එහි වැඩිම ප්‍රසාද ලකුණුලාභී කණ්ඩායම් හතර අතර පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයට පැවැත්වෙන තරග වටයෙන් අවසන් මහ තරගයට කණ්ඩායම් දෙක නිර්දේශ කර ගැනේ.


අදහස් (0)

ගියවර ශූරයෝ පතුලටම ලංගමත් කොට උඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.