Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොදෙව්වෝ 4 ක් ජාතික කණ්ඩායමට පස්ස හරවති

කොදෙව්වෝ 4 ක් ජාතික කණ්ඩායමට පස්ස හරවති

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන වසරේදී (2019) පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් පැවැත්වෙන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට බටහිර ඉන්දීය පිලේ ප්‍රබලතම ක්‍රීඩකයෝ සිවුදෙනෙක් අකමැත්ත පළකර සිටිති. කරන් පොලාර්ඞ්, ඇන්ඩි්‍ර රසල්, සුනිල් නරේන් සහ ඩැරන් බ්‍රාවෝ යන සිවුදෙනා ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලිය සඳහා ජාතික කණ්ඩායමට එක්වීම ප්‍රතික්ෂේප කර සිටිති.

කෙසේ වෙතත් ලොව විශිෂ්ටතම විස්සයි-20 පිතිකරුවා වශයෙන් සැලකෙන ක්‍රිස් ගේල් ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලියේදී කොදෙව් පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානමින් සිටී. ගේල් සමගින් මැදපෙළ පිතිකරු මාලන් සැමුවෙල්ස්ද කොදෙව් පිල හා එක්ව සිටී.

එක්දින සීමිත ඕවර තරගාවලියක් වන ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට වඩා විස්සයි-20 දේශීය තරගාවලියක් වන පාකිස්තානු සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම මැනවයි කරන් පොලාර්ඞ්, ඇන්ඩි්‍ර රසල්, සුනිල් නරේන් සහ ඩැරන් බ්‍රාවෝ යන සිවුදෙනා කියති. මාර්තු මස 4 වැනිදා සිට 25 වැනිදා දක්වා සිම්බාබ්වේහිදී ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලිය පැවැත්වේ.

“ කරන් පොලාර්ඞ්, ඇන්ඩෘෘ රසල්, සුනිල් නරේන් සහ ඩැරන් බ්‍රාවෝ යන සිවුදෙනාම කියන්නේ පාකිස්තානු සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන්න ඕන නිසා එයාලට අප සමග එක්වෙන්න බැහැ කියලයි”

“ඒ වුණත් ක්‍රිස් ගේල් සහ මාලන් සැමුවෙල්ස් ඒ ගොල්ලන්ගේ සම්පූර්ණ සහයෝගය අප වෙනුවෙන් දෙන්න සූදානම් වෙලා ඉන්න එක ගැන අපි සතුටට පත්වෙනවා” යයි කොදෙව් තේරීම් කමිටුවේ සභාපති කර්ට්ි බ්‍රවුන් මහතා පැවසීය.

පිට පිට දෙවතාවක්ම (1975 සහ 1979) ලෝක කුෂලාන දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් පිලට තුන්වැනි අවස්ථාවේදී කුසලානය අහිමි වූයේ අවසන් මහ තරගයේදී ඉන්දියා හමුවේ පරාජය වූ හෙයිනි. එහෙත් ඉන් පසුව ලෝක කුසලාන තරගාවලියේදී දැනෙන යමක් කිරීමට කොදෙව්වෝ අපොහොසත් වූහ. මෑත කාලයේදී කොදෙව් ක්‍රීඩකයන් සහ ක්‍රිකට් නිලධාරීන් අතර පැවැති එදිරිවාදිකම් ඊට ප්‍රධාන හේතුවක් විය.

තහනම් උත්තේජක ගැනීම නිසා වසරක තරග තහනමකට යටත්ව සිටි ඇන්ඩි්‍ර රසල් 2016 සිටම කොදෙව් පිලට ක්‍රීඩා නොකළේය. ඔහුගේ එක්දින තරග 51 න් අවසන් තරගය ක්‍රීඩා කළේ 2015 දී නමුත් 2016 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී එංගලන්තය පරාජය කළ කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩකයකු වූයේද රසල්ය.

කෙදෙව් පිලෙන් කලක් ඉවත් කරනු ලැබ සිටි පොලාර්ඞ් පසුගිය සැප්තැම්බරයේදී නැවතත් කණ්ඩායමට එක්වූ අතර ඩැරන් බ්‍රාවෝ යනු ටෙස්ට් තරග 49ක් සහ එක්දින තරග 94 ක් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි. එහෙත් ඔහු අවසන් වරට කොදෙව් පිලට ක්‍රීඩා කළේ 2016 නොවැම්බර් මාසයේදීය. ඩැරන්ගේ සහෝදරයා මෙන්ම හිටපු නායකයකුද වන ඞ්වේන් බ්‍රාවෝ කොදෙව් පිලට තෝරා ගැනීම සම්බන්ධයෙන් සැලකිල්ලට ලක්වී නැතත් ඔහු එක්දින තරග 164 ක ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි.

“ඞ්වේන් බ්‍රාවෝ තේරීම් සඳහා සලකා බැලුවේ නෑ. ඒකට හේතුව තමයි මීට ඉස්සර ඔහු කියලා තිබුණා තමන් කොදෙව් පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් උනන්දුවක් නොදක්වන බව” යයි ද කර්ට්නි බ්‍රවුන් මහතා පැවසීය.

කෙදෙව් නායක ජේසන් හෝල්ඩර්ට ඇති එකම සැනසීම ක්‍රිස් ගේල් තම පිලට එක්වීමයි. තනි අතින් තරග දිනවන්නකු ලෙස ප්‍රකට ක්‍රිස් ගේල් 38 හැවිරිදි වන නමුත් ඉතාමත් යහපත් ශාරීරික යෝග්‍යතාවකින් යුතු ක්‍රීඩකයෙකි. එක්දින ලකුණු 9420 ක් රැස්කර ඇති ගේල්ගේ සහායක ආරම්භ පිතිකරුවා ඊව්න් ලුවිස් වෙයි.

වසර 2019 දී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් 8 ක් මේ වන විට සුදුසුකම් ලබා සිටී. එහි 8 වැනි කණ්ඩායම වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ලෝක කුසලාන තරගාවලියේ තවත් ස්ථාන 2 ක් ඉතිරිව ඇත. සුදුසුකම් තේරීමේ තරගාවලිය පැවත්වෙන්නේ එම ස්ථාන 2 සඳහා වන කණ්ඩායම් වෙනුවෙනි.
ලෝක කුසලාන තරගාවලිය ලබන වසරේදී එංගලන්තයේ සහ වේල්සයේදී පැවැත්වෙයි.


ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලිය සඳහා වන කොදෙව් සංචිතය
ජේසන් හෝල්ඩර් (නායක), ජේසන් මොහොමඞ්, ක්‍රිස් ගේල්, ඊව්න් ලුවිස්, මාලන් සැමුවෙල්ස්, ෂේ හෝප්, කාලෝස් බ්‍රැත්වෙයිට්, රෝමන් පවෙල්, ඈෂ්ලි නර්ස්, ෂෙල්ඩන් කොට්ට්‍රල්, නිකීතා මිලර්, කෙස්රික් විලියම්ස්, කෙමර් රෝච්, ෂිම්රන් හෙට්මියර් සහ දේවේන්ද්‍ර බිෂූ

 


අදහස් (0)

කොදෙව්වෝ 4 ක් ජාතික කණ්ඩායමට පස්ස හරවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.