
(දමින්ද විජේසූරිය)
අයි.පී.එල්. තරගාවලිය එහි නිමාව අද්දරට පැමිණ තිබේ. එහි තවත් ඉතිරිව ඇත්තේ තරග 15 කි.
ලෝකයේ ඉහළ තලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන සියලුම කණ්ඩායම් නැවත වරක් තමන්ගේ අන්තර්ජාතික කාලසටහන් ආරම්භ කිරීමට සූදානම් වන අතර පාකිස්තානය සහ බංග්ලාදේශය දැනටමත් ටෙස්ට් තරගාවලියක නියැළී සිටිති. ලෝකයේ සෑම රටක්ම තම තමන්ගේ ඉදිරි ගමනට සූදානම් වන්නේ 2027 එක්දින ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමිනි.
ශ්‍රී ලංකා කණ්ඩායමද සති තුනකට පමණ ඉහතදී මූලික පුහුණුවීම් ආරම්භ කළ අතර අයි.පී,එල්. සහ පාකිස්තානු සුපර් ලීග් තරගාවලි දෙකටම ගිය ක්‍රීඩකයෝ නැවතත් කණ්ඩායමට එක්වී සිටිති.
නව නායකයා සහ පුහුණුකරුවා පත්කිරීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු වැනි තරගාවලිය වන්නේ බටහිර ඉන්දීය පිලට එරෙහිව බටහිර ඉන්දීය දූපත් සමූහයේදී පැවැත්වෙන තරගාවලියයි. මෙම තරගාවලිය එක්දින තරග 3 කින්, විස්සයි-20 තරග 3 කින් සහ ටෙස්ට් තරග 2 කින් සමන්විතය.
ශ්‍රී ලංකාව හමුවීමට සූදානම් වීම සඳහා කොදෙව්වෝත් ඇන්ටිගුවා කලාපයට අයත් ශාන්ත ජෝන් නුවර, කූලිජ් ක්‍රිතට් පිටියේ දින 10 ක පුහුණු කඳවුරක් ආරම්භ කර තිබේ.
“මෙම කඳවුර තනි තරගාවලියක් සඳහා සූදානම් වීමක් නොවේ. මේක ඊටත් එහා ගිය දෙයක්” යයි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාවේ අධ්‍යක්‍ෂ මයිල්ස් බාස්කොම්බ් මහතා පවසා තිබේ.
“ඉදිරි මාස 18 ඇතුළත, අපේ කණ්ඩායම ගොඩනඟා ගැනීම සඳහා අවශ්‍ය අනන්‍යතාවය, ක්‍රිකට් සංස්කෘතිය සහ ඊට අනුගතවීම වෙනුවෙන් පැවැත්වෙන උපායමාර්ගික ආයෝජනයක් ලෙසින් මෙම පුහුණු කඳවුර සලකන්න පුළුවන්. මේ පුහුණු කඳවුරේ සෑම සැසියක්ම අපගේ සීමිත ඕවර කණ්ඩායම් (එක්දින සහ විස්සයි-20) ශක්තිමත් කිරීමටත්, පීඩනය යටතේ සාර්ථකව ක්‍රියාත්මක වීම වඩාත් දියුණු මට්ටමකට ගෙන එමින්, 2027 ලෝක කුසලාන තරගාවලියට එක එල්ලේම සුදුසුකම් ලබාගැනීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉදිරියට තල්ලු කිරීමත් අපේ බලාපොරොත්තුවක්” යයි බාස්කොම්බ් මහතා වැඩිදුරටත් පැවසීය.
2027 (එක්දින) ලෝක කුසලාන තරගාවලිය ලබන වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාස වලදී පැවැත්වීමට නියමිතය. එය කණ්ඩායම් 14 ක තරගාවලියකි. අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් නියම කරනු ලබන දිනයකදී එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ ඉහළින්ම සිටින කණ්ඩායම් 10 සහ සුදුසුකම් තේරීමේ තරගාවලියකින් ඉදිරියට එන තවත් කණ්ඩායම් 4 ක් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙති.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ 6 වැනි ස්ථානයේ සිටින අතර කොදෙව්වෝ එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ 10 වැනි ස්ථානයේ සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.