
-----------------
නාමල් පතිරගේ
-----------------
වසර 2017 දී අල් ජසීරා රූපවාහිනී නාලිකාවේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුව සම්බන්ධයෙන් විකාශය වූ පුවතට අදාළව විමර්ශනයක් ආරම්භ කර ඇති ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය අද (19) එහි හිටපු ප්‍රධාන තණතීරු භාරකරු ලෙස කටයුතු කළ ජයනන්ද වර්ණවීර මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේ පිහිටි ක්‍රීඩා වැරැදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයට අද පෙරවරුවේ පැමිණි වර්ණවීර මහතාගෙන් එම ඒකකයේ ප්‍රධානීහු පැය කීපයක්ම ප්‍රශ්න කරමින් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
වසර 2017 දී අල්ජසීරා රූපවාහිනී නාලිකාව විකාශය කළ පුවතකින් කියැවුණේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව ශ්‍රී ලංකාවට වාසිදායක අන්දමින් සකස් කෙරෙන බවයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී රහසිගතව කළ පටිගත කිරීම්වල දී එහි තණ තීරුව සකස් කරමින් සිටි සේවකයන් කීප දෙනකුගේ හඬ පටද අල්ජසීරා පුවතට පසුබිම් කරගත් බව වාර්තාවේ.
ක්‍රීඩා වැරැදි සෙවීමේ පොලිස් ඒකකයේ ප්‍රශ්න කිරීම්වලට ලක්වූ ජයනන්ද වර්ණවීර මහතා ගාල්ල ක්‍රීඩාංගණයේ තණතීරුව සම්බන්ධයෙන් කළ බව කියන ප්‍රකාශයක් ද අල්ජසීරා පුවතේ විකාශනය වී තිබේ.
‘අල් ජසීරා’ පුවත පාදක කර ගනිමින් අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ ඇරැඹූ විමර්ශනය මඟහැර සිටි බව කියන, එවකට ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව බාරව සිටි, ජයනන්ද වර්ණවීර මහතා ඇතුළු කීප දෙනෙකුට තහනමක් පැනවීමට ද අන්තර් ජාතික ක්‍රිකට් සභාව පියවර ගත්තේය.
වසර 2017 දී වූ මෙම සිදුවීමට අදාළව විමර්ෂණයක් ආරම්භ කරන ලෙස රජයේ නීතිපතිවරයා උපදෙස් දුන්නේ පසුගිය මාර්තු මාසයේ දීය. ක්‍රීඩා වැරැදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ ප්‍රධානි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතා ‘ලංකාදීප’ය කළ විමසුමක දී පැවැසුවේ පුවතට අදාළව වර්ණවීර මහතා හැරෙන්නට ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ කටයුතු කළ තණතීරු සකස් කරන්නන් හා සේවකයන් සිව් දෙනකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවයි.
“මෙම සිදුවීමට අදාළව අප ඒකකය ආරම්භ කර තිබෙන විමර්ශනයට අන්තර්ජාතික පොලිසිය මෙන්ම සිදුවීමට අදාළව අන්තර් ජාතික ක්‍රිකට් සභාව මෙතෙක් කර තිබෙන විමර්ශනයේ වාර්තා ද හවුල් කර ගන්නවා.
ඒ අනුව අන්තර් ජාතික ක්‍රිකට් සභාව ඒ ගැන කළ විමර්ශනයේ වාර්තාවක් ඉක්මනින්ම ගෙන්වා ගැනීමටත් අප කටයුතු කරනවා.’ යයි ද ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවැසීය.
ෆොන්සේකා මහතා පවසන්නේ මෙම පුවතට අදාළව ශ්‍රී ලංකාවේ හිටපු එක්දින ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටි මහතා ද ඉදිරියේ දී ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිය ඒකකයට කැඳවීමට නියමිත බවයි. දිල්හාර ලොකුහෙට්ටිගේට වසර අටක තහනමක් පනවා ඇති බව අන්තර් ජාතික ක්‍රිකට් සභාව අද (19) නිවේදනය කළේය.
‘අල් ජසීරා’ පුවතට අදාළව ශ්‍රී ලංකාවේ විමර්ශන කටයුතු ක්‍රීඩා වැරැදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයේ නියෝජ්‍ය ප්‍රධානි පොලිස් අධිකාරි ඩී.ජී. සමරනායක මහතාගේ අධීක්ෂණයෙන් පැවැත්වේ.
මේ වනවිට ක්‍රීඩා වැරැදි සෙවීමේ පොලිස් ඒකකය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුවීම් කීපයක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ගෙන යයි. එක් සිදුවීමක් වන්නේ පසුගිය වසරේ හම්බන්තොට දී පැවැති එල්.පී.එල්. තරගාවලියේ දී තරග පාවාදීම් සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් දෙදෙනකු පොළඹවා ගැනීමට දැරූ බව කියන උත්සාහයයි.
ඒ සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ විමර්ෂණයේ දී හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගෙන්ද ප්‍රශ්න කිරීමට විමර්ශන ඒකකය පියවර ගත්තේය. ඒ හැරෙන්නට සචිත්‍ර සේනානායකගෙන් වත්කම් ප්‍රකාශයක් ලබා ගැනීමට ද ඒකකය කටයුතු කළේය.
මෙම වසරට නියමිත එල්.පී.එල්. තරගාවලිය ආරම්භයට පෙරම එහි තරග පාවාදීම්වලට පොළඹවන ආකාරයේ සිදුවීමක් ගැන ද විමර්ශන ඒකකය ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයකුගෙන් හා මැණික් ව්‍යාපාරිකයකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
විමර්ශන ඒකකය ආරම්භ කර තිබෙන සෙසු විමර්ශන අතර ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ හිටපු සභාපතිවරයකුට එරෙහිව රුපියල් මිලියන දෙකකට වැඩි මුදලක් අවභාවිතා කිරීම ගැන එල්ලවන චෝදනාව ද වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.