Last Update  :  2025-11-11 20:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සලකද්දී කුඩම්මාගේ සැලකිල්ල හොඳයි

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සලකද්දී කුඩම්මාගේ සැලකිල්ල හොඳයි

නාමල් පතිරගේ - 2021 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රියාත්මක වූදා පටන් මේ දක්වා රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් වැය කර ඇත්තේ එහි වියදම්වලින් සියයට හයක් (6%) පමණක් බවත් එය ක්‍රීඩා අමාත්‍යාංශයේ පරමාදර්ශයට පටහැනි ක්‍රියාවක් බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.  ක්‍රීඩා අමාත්‍යාංශයේ ‘ඩන්කන් වයිට්’ ශ්‍රවනාගාරයේදී ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති නාමල් රාජපක්ෂ මහතා රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් අමාත්‍යංශයේ වියදමෙන් අවම වශයෙන් සියයට විස්සක් (20% ක්) වත් මෙතැන් සිට වාර්ෂිකව  වෙන් කිරීමට තීරණය කර අතැයිද පැවසීය.

ශ්‍රී ලංකාවේ ඉදිරි අන්තර් ජාතික තරග සහභාගිත්වය ඉලක්ක කරමින් වසර 2021-22 කාල සීමාව  සඳහා ජාතික ක්‍රීඩා පාලක සභාව හඳුන්වා දුන් ක්‍රීඩකයන්ගේ උසස් දක්ෂතා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනේ පළමු අදියර එළිදැක්වීම පිළිබඳව කරුණු දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

එම ව්‍යාපෘතිය කෙටුම්පත් කළ ජාතික ක්‍රීඩා පාලක සභාව වෙනුවෙන් එහි සභාපති මහේල ජයවර්ධන මහතා ඇතුළු විධායක සභිකයන් හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාත් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

එහිදී උසස් දක්ෂතා ප්‍රවර්ධන වැඩසටහන හඳුන්වා දෙමින් ඇමැති නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

“ඉදිරිපත් කළ වියදම් සංඛ්‍යා ලේඛන දිහා බැලුවම මට විශාල කනගාටුවක්  ඇතිවුණා. මොකද ක්‍රීඩා  අමාත්‍යාංශයේ මුල් අරමුණ එතනදි බිඳ වැටිලා. රටේ ක්‍රීඩකයන්ට අමාත්‍යාංශයේ වියදමෙන් 6% පමණක් වියදම් කරන කොට මුළු ඉතිරි වියදම් අමාත්‍යාංශය යොදලා තිබෙන්නේ ගොඩනැගිලි හදන්නයි, වෙනත් යටිතල පහසුකම් නංවන්නයි.“

“හැබැයි මින් ඉදිරියට ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රීඩකයන්ට ප්‍රයෝජනයක් නැති ගොඩනැගිලි හදන්න සල්ලි වියදම් කරන්න යන්නේ නෑ..... මිලියන150ක් වියදම් කරලා එක්තරා ගමක පිහිනුම් තටාකයක් හදලා තිබ්බා. ඒකෙන් ප්‍රයෝජනයක් අරගෙන තිබ්බෙත් නෑ.
හැබැයි හොයලා බලනකොට ජල ප්‍රශ්නයෙන් පීඩාවිඳින ඒ ගමට ජලය දෙන්න යන ව්‍යාපෘතියට වියදම ලෙස ඉදිරිපත් කරලා තිබ්බෙත් මිලියන 100ක් විතරයි.“

“මෙන්න මේ වාගේ දේවල් ටිකක් තමයි පසුගිය කාලය පුරා ක්‍රීඩා අමාත්‍යාංශයේ වෙලා තිබ්බේ. දැන්වත් අපි නිවැරදි විය යුතුයි. මොකද ක්‍රීඩකයන් වන ඔබට මේ වියදම් කරන්නේ ජනතාවගේ සල්ලි නිසා... “

“මට ක්‍රීඩා ඇමතිවරයා හැටියට ක්‍රීඩකයන්ගේ ප්‍රවර්ධනය වෙනුවෙන් ඉල්ලා සිටින ඕනම දෙයක් ලබා දෙන්න පුළුවන්. හැබැයි ක්‍රීඩකයන් හිතට ගත යුතුයි. අපිට මේ වියදම් කරන්නේ රටේ  ජනතාවගේ මුදල්. අපි ඒකට නිසි වටිනාකමක් ලබාදිය යුතුයි කියලා“

උසස් දක්ෂතා ප්‍රවර්ධන වැඩසටහන තුළින් අනාගතයේ මේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රතිලාභ රැසක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගන්නවා.

 


අදහස් (0)

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සලකද්දී කුඩම්මාගේ සැලකිල්ල හොඳයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.