Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රිකට් උපදේශන පොත කලින්ම දුන්නා

ක්‍රිකට් උපදේශන පොත කලින්ම දුන්නා

යොහාන් භාසුර - 2019 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේදී පැවැති 13 වැනි ‘සාග්’ ක්‍රීඩා උළෙලේ විස්සයි20 ක්‍රිකට් තරගාවලියට අදාල ‘තාක්‍ෂණික උපදේශන පොත’ තරගාවලියට සති දෙකකට පමණ පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කළ බව ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා ඊයේ (16) පැවසීය.

සාග් ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියේ පිරිමි සහ කාන්තා කණ්ඩායම්වල සංයුතිය පිළිබඳව ක්‍රීඩා අමාත්‍යංශය හෝ ජාතික ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් නොකිරීම හේතුවෙන් වයස 23 න් පහළ කණ්ඩායම් සහභාගි කරවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. එහෙත් තරගාවලියේ නීති රීති අනුව අවශ්‍ය වූයේ නම් වයස 23 ඉක්මවූ ක්‍රීඩකයන් අවම වශයෙන් තිදෙනකු කණ්ඩායමට ඇතුළත් කළ හැකිව තිබී ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පහසුවෙන් දිනාගැනීමට තිබූ රන් පදක්කම් දෙකක් අහිමිවූ බවට බලධාරීන්ට චෝදනා එල්ල වී තිබේ.  

සාග් ක්‍රීඩා උළෙල පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් කොළඹ පිහිටි ‘ඔලිම්පික් නිවසේදී’ ඊයේ (16) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ක්‍රිකට් ගැටලුව පිළිබඳව කළ විමසුමේදී මැක්ස්වල් ද සිල්වා මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“තාක්‍ෂණික උපදේශන පොත ක්‍රීඩා උළෙලට සති දෙකකට පෙර ක්‍රීඩා සංගම්වලට යැව්වා”

“ඔය සම්බන්ධයෙන් යන්න කලින් නන් මට කිව්වෙ නෑ. ඒ හැම දෙයක්ම විද්‍යුත් තැපෑලෙන් යවලා තියෙනවා. ඒ උත්තර ඔක්කොම මා ලඟ තියෙනවා”

“කවුරුත් ඔහොම කථා කරන්නෙ පැරදුණාම විතරයි. පැරදුනාම කාට හරි වැරැද්දක් කියන්න එපැයි. දැන් හැම එකටම ජාතික ඔලිම්පික් කමිටුව වැරදි කියලා කියනවා”

“ක්‍රිකට් ආයතනයත් එක්ක සාකච්ඡා කළා නම් කළේ විද්‍යුත් තැපෑලෙන්. ඒ ආපු හැම එකකටම උත්රයක් දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් තාක්‍ෂණික උපදේශ පොත් ආවනන් එන්න ඕනෙ ඒ ජාතික සංගමයටයි”

“සයිකල්, වූෂු, ටයිකොන්ඩෝ ආදි සංගම් මට කිව්වා මේ මේ දේවල් වෙලා නෑ කියලා. ඒ ප්‍රශ්න අපි නිරාකරණය කළා. දැන් ක්‍රිකට් එක කියනවා නම් මේක අපි හරියට කළේ නෑ කියලා ඒගොල්ලන්ට තිබුණා නේපාල ක්‍රිකට් සංගමය සමඟ සාකච්ඡා කරලා කරන්න. එහෙමයි වෙන්න ඕනේ”

“ජාතික ඔලිම්පික් කමිටුව ඇවිත් කියන්න ඕනෙ නෑ හතර දෙනෙක් දාන්න පු`ඵවන් කියලා. පාපන්දුවලත් ඔය ප්‍රශ්නය තිබුණා. අපි කිව්වා සාකච්ඡා කරලා කරන්න කියලා”

ශ්‍රී ලංකා සාග් කණ්ඩායමේ ප්‍රධානී මේජර් ජනරාල් දම්පත් ප්‍රනාන්දු මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.

“පළමුවෙන්ම කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරුගෙන් මට පැමිණිල්ලක් ආවෙ කාමර මාරු කිරීමක් සම්බන්ධවයි. ඒ ප්‍රශ්නය මම සමතයකට පත් කළා. ඔය ප්‍රශ්නය සම්බන්ධවත් කථා කළා”

“ඇත්තම කියනවා නම් තාක්‍ෂණික උපදේශන පොත් අපිට ලැබිලා තියෙනවා. එහි සෑම විස්තරයක්ම සඳහන් වෙලා තියෙනවා. නමුත් තාක්‍ෂණික කමිටුවලදී යම් යම් වෙනස්වීම් ඇති වුණා. කළමනාකරුගේ වගකීම තමයි ඒ කමිටුවත් සමඟ සාකච්ඡා කරලා කටයුතු කිරීම. ඒක ඔහුගේ වගකීම. එතනින් එහාට කරන්න බැරිනම් මම ප්‍රධානියා හැටියට සම්බන්ධ වුණා”

“මේ සිද්ධිය පිළිබඳවත් අපිව දැනුවත් කළා. අපි සංවිධායකයන්ට දැනුම් දුන්නා. අපිටත් 80% ක් පමණ විසදගන්න ලැබුණා. නමුත් 20% ක් පමණ අපිටත් විසදගන්න ලැබුණේ නෑ”

“ඒ තිබුණු වාතාවරණය අනුව අපිට හැම දේකටම උත්තරයක් හොයාගන්න ලැබුණේ නෑ. මම ඒක අවංක කියන්නේ”

“උපදේශන පොත් තරගාවලියට සහභාගි වීමට පෙර අදාල කණ්ඩායමේ කළමනාකරුට ලැබෙනවා. අදාල ජාතික සංගම්වලට බෙදා හැරීම සඳහා මට ලැබුණු ඒ උපදේශන පොත් ජාතික ඔලිම්පික් කමිටු කාර්යාලයට බාර දුන්නා. ඒවා අදාල කළමනාකරුට ලබාදීම ජාතික සංගම්වලට වගකීමක්. මොකද ඒක සම්පූර්ණයෙන්ම එහි නීති රීති සම්බන්ධයෙන් අධ්‍යනය කරන්න ඕනෙ”

“අපිට යම්කිසි කාලසීමාවක් තියෙනවා ඒ නීති රීති ජාත්‍යන්තර නීති රීතිවලට පටහැනි නම්, ඒ අදාල සංවිධායක කමිටුවත් සමඟ සාකච්ඡා කරලා සමතයකට පත්කරන්න අපිට අවස්ථාව තියෙනවා”

“නමුත් මෙහිදී වුණේ ක්‍රිකට් කණ්ඩායම් එහෙට ගියාට පස්සෙ තමයි ප්‍රශ්නය පැන නැගුණේ” යැයි දම්පත් මහතා වැඩි දුරටත් පැවසීය.
ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා එම කමිටුවේ ඉලක්ක සහ සැළසුම් මෙසේ විස්තර කළේය.

“ජාතික ඔලිම්පික් කමිටුවේ මීළඟ ඉලක්කය 2022 ආසියානු ක්‍රීඩා උළෙල සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලයි. ඊට පසුව තමයි ඔලිම්පික් ක්‍රීඩා ගැන හිතන්න වෙන්නේ”

“සාග් ක්‍රීඩා උළෙලේදී දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගෙන එය කළ යුතුයි. අපිට හැම ක්‍රීඩාවම ගන්න බෑ. ක්‍රීඩා කීපයක් තෝරාගන්න වෙනවා”

“සුසන්තිකා පදක්කම් දිනුවෙත් එහෙම තමයි. ක්‍රීඩා අමාත්‍යංශයත් එක්ක එකතු වෙලා දස්කම් වැඩි දියුණු කරපු නිසායි ඒ දස්කම් දක්වන්න හැකි වුණේ. ඊළඟ සාග් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 80 දිනාගැනීම තමයි අපේ ගමන සහ දැක්ම විය යුත්තේ”

“මෙම සාග් ක්‍රීඩා උළෙලේදී ගොඩක් ප්‍රශ්න තිබුණා. නේපාලයේදී එහෙම තමයි කියලා අපි දැනගෙන හිටියා. වෛද්‍ය මාර්ගෝපදේශන පොත මට ලැබුණේ ඩෙංගු රෝගය වැළදුණු ළමයව බලන්න රෝහලට ගිය වෙලාවෙයි”

මෙම මාධ්‍ය හමුවට ජාතික ඔලිම්පික් කමිටුවේ සුරේෂ් සුබ්‍රමනියම්, උප සභාපති අසංග සෙනෙවිරත්න සහ ශ්‍රී ලංකා සාග් කණ්ඩායම් නියෝජ්‍ය ප්‍රධානී ගාමිණී ජයසිංහ යන මහත්වරු ද සහභාගි වූහ.


අදහස් (0)

ක්‍රිකට් උපදේශන පොත කලින්ම දුන්නා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.