
ඔලිම්පික් ගම්මානයේ නවාතැන් ගෙන සිටින පිරිස අතුරින් පළමු වැනි කොරෝනා ආසාදිතයා හමුවූ බව සංවිධායකයෝ අද (17 වැනිදා) පැවසූහ. ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වීමට තවත් ඇත්තේ දින 6 ක් පමණි. කෙසේ වෙතත් ඒ ක්‍රීඩකයකු නොවන බව ඔලිම්පික් සංවිධායකයෝ කියති.
මෙම කොරෝනා ආසාදිතයාගේ හමුවීම ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සභාපති සීකෝ හෂිමොටෝ මහතා විසින් ද සනාථ කරනු ලැබ ඇත.
“මේ තත්ත්වයේදී තව තවත් ආසාදිතයන් හමුවෙන්න පුළුවන්. ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වුණොත් ඒකට මුහුණ දෙන්න අපට සිද්ධ වෙනවා” යයි තරගාවලි සංවිධාන කමිටුවේ ප්‍රධාන විධායක නිලධාරී ටොෂිරෝ මූතෝ මහතා පැවසීය.
මේ වන විට හමුවී ඇති තැනැත්තාගේ වැඩිදුර තොරතුරු හෙළිකිරීමට සංවිධායක කමිටුවේ සාමාජිකයෝ පසුබට වෙති. ඔහු ජපානයේ පදිංචි අයකු නොවන බවත්, දින 14 ක නිරෝධායනය සඳහා යවා ඇති බවත් ටෝකියෝ සංවිධාන කමිටුව කියයි.
ඔලිම්පික් ක්‍රීඩා උළෙල මේ මස 23 වැනිදා ආරම්භ වෙයි. ඒ වෙනුවෙන් ජපානයට පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000 ක් සහ ඔවුන්ගේ සහාය කාර්ය මණ්ඩලවල සිටින සාමාජික සාමාජිකාවන් දහස් ගණනක් ඔලිම්පික් ගම්මානයේ නවාතැන් ගෙන සිටිනු ඇත.
අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බෙක් මහතා කීවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙතින් ටෝකියෝ නුවර අනෙකුත් අයට වයිරසය බෝවීමේ කිසිම අවස්ථාවක් නැති බවයි.
ජූලි 1 වැනිදා සිට අද දක්වාම, ‘ටෝකියෝ ඔලිම්පික්’ සම්බන්ධිතයන් වෙනුවෙන් කළ පරීක්‍ෂණ වලදී කොරෝනා ආසාදිතයන් 44 දෙනකු හඳුනාගෙන තිබේ. එහෙත් ඔවුන් කිසිවකුත් ක්‍රීඩකයන්ගේ ගම්මානය තුළ වෙසෙන අය නොවෙති.
මෙම ලයිස්තුවට ක්‍රීඩකයකු සහ මාධ්‍යවේදීන් තිදෙනකු ඇතුළත්ව සිටින බව කියැවේ. ඔවුන් අතුරින් බොහෝ දෙනකු කොන්ත්‍රාත්කරුවන් වන අතර 12 දෙනකුම ජපානයේ පදිංචිකරුවෝ නොවෙති.
සිකුරාදා (ඊයේ) දිනයේදී ටෝකියෝවෙන් වාර්තා වූ නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1271 කි. සතියකට ඉහතදි නම් එය 822 කි. කෙසේ වෙතත් බ්‍රහස්පතින්දා වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව වන 1308, මාස හයක කාලයකට පසුව ජපානයෙන් දිනයකදී වාර්තා වූ ඉහළම කොරෝනා රෝගීන් සංඛ්‍යාවයි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.