ඔලිම්පික් උළෙල අවලංගු කරන්න වේවි
ලබන වසර වන විට කොරෝනා වයිරසයේ පැතිරීම පාලනය කර නොගතහොත් කල් දැමූ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල අවලංගු කිරීමට සිදුවනු ඇතැයි සංවිධායක කමිටුවේ සභාපති යෂිරෝ මෝරී මහතා අනතුරු ඇඟවයි. ජපානයේ දිනපතා පළවන ක්‍රීඩා පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෝරී මහතා එසේ පැවසීය.
වසර හතරකට වරක්, ලොව පුරා සිටින ක්‍රීඩකයින් සහ ප්‍රේක්ෂකයින් ඇද ගන්නා උත්සවයක් පැවැත්වීම සඳහා ලබන වසර වන විට කෝවිඞ් - 19 වසංගතය නිසි ලෙස පාලනය කළ හැකිදැයි යන්න පිළිබඳව වෛද්‍ය විශේෂඥයෝ සැක පහළ කර සිටිති.
කෝවිඞ් - 19 වසංගතය හේතුවෙන් මේ වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ ටෝකියෝ ඔලිම්පික් උළෙල 2021 ජූලි 23 වන දින දක්වා වසරක් ප්‍රමාද කිරීමට සිදුවී තිබේ. එහෙත් එය නැවත වරක් කල්දැමීමට සිදුවේද යන්න පිළිබඳව කළ විමසීමකදී සංවිධායක කමිටුවේ සභාපති යොෂිරෝ මෝරි මහතා පැවසුවේ තවදුරටත් එය කල් දැමීමට නොහැකි බවයි.
“නැහැ.... එහෙම වුණොත් ඒක අවලංගු කරලා දානවා” යයි ජපානයේ නිකාන් දිනපතා ක්‍රීඩා පුවත්පතක වාර්තාකරුවා විමසූ විට යොෂිරෝ මෝරි මහතා පැවසීය.
මීට පෙර ඔලිම්පික් ක්‍රීඩා උළෙල අවලංගු කර ඇත්තේ ලෝක යුද සමයේදී පමණක් බව සඳහන් කළ මෝරී මහතා, කොරෝනා වයිරසයට එරෙහි සටන “අදෘශ්‍යමාන සතුරෙකු සමඟ සටන් කිරීමක්” හා සැසඳීය හැකි යැයි පැවසීය. වයිරසය සාර්ථකව මැඩ පැවැත්වුවහොත් “අපි ලබන ගිම්හානයේදී ඔලිම්පික් උළෙල සාමකාමීව පවත්වනවා” යනුවෙන් පැවැසු ඔහු “මිනිසා එය මත ඔට්ටු අල්ලයි” යැයි ද වැඩිදුරටත් පැවසීය.
ඔලිම්පික් උළෙල අවලංගු කිරීම පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ 2020 ටෝකියෝ උළෙලේ ප්‍රකාශකයෙකු වන මාසා ටකයා මහතා මෝරි මහතාගේ ප්‍රකාශය පදනම් වූයේ “සභාපතිවරයාගේ සිතුවිලි” මත යැයි මාධ්‍යවේදීන් අමතමින් පවසා සිටියේය.
කෙසේ වෙතත් ඔලිම්පික් උළෙල කල්දැමීම පිළිබඳ අදහස ඒ සම්බන්ධයෙන් දිනෙන් දින එකතුවන ප්‍රශ්න තව තවත් බැරෑරුම් කරනු විනා විසඳුමක් නොවන තත්ත්වයට පත්ව තිබේ. 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල වසරකින් කල්දැමීමට පසුගිය මාසයේ දී තීරණය කරනු ලැබුවේ සංවිධායකයින්ට මෙන්ම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවටද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් හා ක්‍රීඩා සම්මේලනවලින් එල්ල වූ දැඩි බලපෑම් හේතුවෙනි.
මේ අතරවාරයේදී සෞඛ්‍ය විශේෂඥයන්ගෙන් ලැබෙන්නේද සැනසුම දනවන තොරතුරු නොවේ.
කෝවිඞ් - 19 සඳහා ප්‍රත්‍යක්‍ෂ එන්නතක් සොයාගත නොහැකි වුවහොත් ලබන වසරේදීත් (2021) ක්‍රීඩා උළෙල පැවැත්වීම “අතිශයින් දුෂ්කර” බව ජපාන වෛද්‍ය සංගමයේ ප්‍රධානියා පසුගියදා අනතුරු ඇඟවීය.
“ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්විය යුතු නැතැයි මා කියන්නේ නෑ, නමුත් එය අතිශයින් දුෂ්කර වනු ඇති” යයි යොෂිටකේ යොකොකුරා මහතා වාර්තාකරුවන්ට පැවසීය.
කෝවිඞ් - 19 වයිරසය සම්බන්ධයෙන් ජපානය අනුගමනය කරන ප්‍රතිපත්ත දැඩිලෙස විවේචනය කළ ජපාන වෛද්‍ය විශේෂඥයකු පසුගිය සතියේ කියා සිටියේ කල් දැමූ ඔලිම්පික් උළෙල 2021 දීවත් පැවැත්විය හැකිනම් එය “සර්වසුබවාදී” තත්ත්වයක් බවයි.
“අවංකවම කතා කරනවානම් ලබන වසරේ ඔලිම්පික් උළෙලක් පැවැත්වෙනවා යැයි මම හිතන්නේ නෑ” යැයි කෝබේ විශ්ව විද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ මහාචාර්ය කෙන්ටාරෝ ඉවාටා මහතා පැවසීය.
”ලබන ගිම්හානය වන විට ජපානය තුල මෙම රෝගය පාලනය කිරීමට අපට හැකි වේවි. මම එහෙම හිතනවා. නමුත් ලෝකයේ සෑම තැනකම එය සිදුවනු ඇතැයි මම හිතන්නේ නෑ.... එමනිසා ලබන ගිම්හානයේදී ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීම ගැන මට නම් හිතන්න බෑ” යයි ඔහු පැවසීය.
කෙසේ වෙතත් “වෛද්‍ය විශේෂඥයන් පවා කියා සිටින්නේ එවැනි දෙයක් පිළිබඳව තීන්දුවක් දීමට තවමත් ඉක්මන් වැඩි බවයි” යැයි 2020 ටෝකියෝ උළෙලෙහි ප්‍රකාශක ටකායා මහතා කියා සිටියේය.
ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල වයිරසයට එරෙහි ජයග්‍රහණය සැමරීමට අවස්ථාවක් වනු ඇති බවට ජපාන නිලධාරීන් සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවද පවසා තිබේ. ඔවුන්ගේ අදහස වන්නේ කෝවිඞ් - 19 වයිරසය පරාජය කළ ආකාරය ඔලිම්පික් සමාරම්භක උළෙලටද ඇතුළත් කළ යුතු බවයි.
ක්‍රීඩා උළෙල කල් දැමීම දැවැන්ත සැපයුම් හා මූල්‍යමය අභියෝගයක් වන අතර ප්‍රමාදය සඳහා වන අවසාන මිල සටහන තවමත් පැහැදිලි නැත. පිරිවැය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ඔලිම්පික් හා පැරලිම්පික් සඳහා ඒකාබද්ධ සමාරම්භක හා සමාප්ති උත්සව පැවැත්වීමට සංවිධායකයින් සලකා බලමින් සිටින බව මෝරි මහතා සම්මුඛ සාකච්ඡාවේදී කියා සිටියේය.
මෙම සැලසුම යටතේ පැරලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයද, ජූලි 23 වැනි දින පැවැත්වෙන ඔලිම්පික් සමාරම්භක උත්සවයට එක්වන අතර ඔලිම්පික් සමාප්ති උත්සවය සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන පැරලිම්පික් සමාප්ති උළෙලට ඒකාබද්ධ කෙරේ. එහෙත් මේ සම්බන්ධයෙන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ මෙන්ම ලෝක පැරලිම්පික් කමිටුවේ කැමැත්ත තවමත් ලබාගෙන නැත.
”එය සැලකිය යුතු ලෙස වියදම් කප්පාදුවක් සහ ගෝලීය අර්බුදයට එරෙහිව ජයග්‍රහණයේ විශාල පණිවිඩයක් වනු ඇතැයිද, නමුත් එය පහසු නැතැයිද,” මෝරි මහතා පැවසීය.
- 2079