ඒකාබද්ධ සංවර්ධන සැලැස්මකට මොහොත මෙයයි
(සුසිල් ප්‍රේමලාල්)
දැනට පවතින කොරෝනා වසංගතයෙන් පසු, රට යළි යථා තත්ත්වයට පත් වූ විගස, කඩිනම් ඒකාබද්ධ ක්‍රීඩා සංවර්ධන සැලැස්මක් පාසල් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ක්‍රියාත්මක කළහොත් 2022 වසරේදී ශ්‍රී ලංකාවට දකුණු ආසියාව අභිබවා යාමේ අභියෝගය ජය ගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් (ක්‍රීඩා) සුනිල් ජයවීර මහතා පවසයි.
ශ්‍රී ලංකාව මෙන්ම ලෝකයේ ද කොරෝනා ව්‍යසනය නිසා ගත වූ කෙටි කාලයේදී සමස්ත ක්‍රීඩාවම අක්‍රිය වී තිබේ. එහෙයින් අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික ඔලිම්පික් කමිටුව සහ සියලුම ජාතික ක්‍රීඩා සංගම් මතභේද දුරලා අදාළ ක්‍රීඩා සංවර්ධන සැලැස්ම කඩිනමින් සකස් කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.
දැනටමත් ලෝකයේ බොහෝ රටවල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශාරීරික යෝග්‍යතාව රැක ගැනීම සඳහා අන්ත්ජාලය හරහා බොහෝ ක්‍රීඩා පුහුණු වැඩ සටහන් ක්‍රියාත්මක කොට ඇති බවත් ශ්‍රී ලංකාවද එවැනි ක්‍රීයාකාරකම්වලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොමු කරවීම සඳහා ක්‍රීඩා බලධාරින් කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවත් හෙතෙම පැවසීය.
1968 වසරේ සිට ක්‍රීඩා නිලධාරියෙකු මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු සහ ක්‍රීඩා පරිපාලකවරයෙකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කොට ඇති අතර, අධ්‍යාපන අමාත්‍යංශය විසින් 1984 වසරේදී හඳුන්වා දුන් ජාතික පාසල් ක්‍රීඩා සංකල්පයේ නිර්මාතෘවරයාද වන්නේය. 1990 දශකයේ අධ්‍යාපන අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා (ක්‍රීඩා) ලෙසින් කටයුතු කළ සුනිල් ජයවීර මහතා එකල සංවිධානය කළ ජාතික පාසල් ක්‍රීඩා උළෙල සහ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල මගින් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකට සිය ක්‍රීඩාවේ අනාගතය සකස්කර ගැනීම සඳහා පාර කියා දුන්නේය.
‘‘1991 වසරේ කොළඹ පැවති 5 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (සාෆ්) තමයි අපි උපරිම වශයෙන් දස්කම් දැක්වූ ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල. එවර අපි ඉන්දියාව පවා අභිභවමින් පළමු වරට දකුණු ආසියානු මලල ක්‍රීඩා ශුරතාව දිනා ගත්තා.“
“ඉන් පෙර කිසිදු අවස්ථාවක සාෆ් මලල ක්‍රීඩා ශුරතාවක් දිනා ගෙන නැහැ. අවසන් වරට නැවත කත්මණ්ඩු දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මලල ක්‍රීඩාවෙන් වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවක් දිනා ගත්තේ ශ්‍රී ලංකාවයි.... නමුත් ශ්‍රී ලංකාව දිනාගත් එම පදක්කම්වලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෞද්ගලික උපරිම දක්ෂතාවන් කිසිදු අයුරකින් ප්‍රදර්ශනය වුණේ නැහැ. ඉන්දියාවත් මෙවර තමන්ගේ සුපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බහුතරය ඉදිරිපත් කොට තිබුණේ නැහැ“ යැයි ජයවීර මහතා පැවසීය.
මෙම වසරේදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලුම පාසල් සහ ජාතික මට්ටමේ තරගාවලි අත්හිටවිය යුතු නමුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පවතින ශාරීරික යෝග්‍යතාවන් තව දුරටත් රැක ගැනීම සඳහා පුහුණුකරුවන්ගේ විශේෂ අවධානය යොමු කළ යුතු බවත්, ජයවීර මහතා පවසයි.
“ඉදිරියේදී පාසල් මට්ටමේ කිසිදු තරගාවලියක් පැවැත්වීමට නොහැකියි. එයට හේතුව තමයි ළමයින්ගේ අධ්‍යාපන කටයුතු මේ වන විටත් අඩාල වී තිබීම“
“ඒ වගේම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම නිසා දෙමව්පියන්ද තම දරුවන් ක්‍රීඩාවලට යොමු කිරීමට කැමැත්තක් දක්වන්නේ නැහැ....
“ඒ හැර ජාතික මට්ටමේ ක්‍රීඩා තරගාවලිද බොහෝ විට පැවැත්වීමට නොහැකි තත්ත්වයක් පැන නැගී තිබෙනවා. ඊට හේතුව තරගාවලි මෙහෙයවීමට අනුග්‍රාහක දායකත්වය බොහෝ විට අඩු වෙන්න පුළුවන් වීම... ඒත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවන් විටින් විට මැන බැලිය යුතුයි. ඒ නිසා පුහුණු තරග සහ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වීම අනිවාර්යයෙන් සිදු කළ යුතුයි.....“
“ඒ වගේම මේ කාලයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැනට මුහුණ දී සිටින ආබාධිත තත්ත්වයන් වලින් මිදී පූර්ණ සුවය ලබාගත යුතුයි. ඒ ටික අපේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වගේම ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවනුත් තේරුම් ගන්න ඕනා“ යැයිද ජයවීර මහතා පැවසීය.
ලබන වසරේදී (2021) ජාත්‍යයන්තර තරගාවලි රැසක් ක්‍රියාත්මක වීමට නියමිතව ඇති අතර කල් දැමු ඔලිම්පික් ක්‍රීඩා උළෙලද ඒ අතරින් ප්‍රධාන ස්ථානයක් ගනී.
ඔලිම්පික් ක්‍රීඩා උළෙලට මේ දක්වා ශ්‍රී ලංකාවෙන් කිසිදු ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් සුදුසුකම් ලබා නොමැත. ඒ සඳහා ඔලිම්පික් සිදුසුකම් ලැබීමේ අවසාන දිනය කොරෝනා ව්‍යසනය හේතුවෙන් දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කොට ඇතත් කිසිදු ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරගාවලියක් පැවැත්වීමට නොහැකි තත්ත්වයක් පවතින හෙයින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එය ගැටලුවක් නොවනු ඇත.