
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පසුගිය ඊයේ (1 වැනිදා) පල්ලෙකැළේදී පැවැති විස්සයි-20 තරගයේදී වම් උරහිසේ ඇතිවූ තදබල ආබාධයක් හේතුවෙන් වේග පන්දු යවන එෂාන් මාලිංගට ලෝක කුසලාන තරගාවලිය අහිමි වන තත්ත්වයක් උදා වී තිබේ. අද (2 වැනිදා) සවස් වන තුරුත් ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් නොකරන ලද නමුත් නිල නොවන ආරංචි මාර්ග අනුව දැගන්නට ඇත්තේ එෂාන් මාලිංගට සති 4 ක සිට සති 6 ක කාලයක් දක්වා විවේක ගැනීමට සිදුවන බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කර සිටියේ හෙට (3 වැනිදා) පැවැත්වීමට නියමිත තුන්වැනි විස්සයි-20 තරගය සඳහා එෂාන් මාලිංග ක්‍රීඩා නොකරන බවයි.
යම් හෙයකින් එෂාන් මාලිංගට ලෝක කුසලාන තරගාවලිය අහිමි වුවහොත් ලෝක කුසලාන මූලික සංචිතයේ සිටි ප්‍රමෝද් මධුෂාන්, නුවන් තුෂාර සහ ඩිල්ෂාන් මධුශංක යන තිදෙනාගෙන් අයකු ශ්‍රී ලංකා සංචිතයට එක් කෙරෙනු ඇත.
ඉරිදා පැවැති තරගයේදී වර්ෂාවෙන් පසුව පන්දුව අතට ගත් එෂාන් මාලිංග මුල්ම පන්දුව ටොම් බැන්ටන් වෙත යවන අවස්ථාවේදී ඔහුගේ වම් උරහිස කිසියම් ආබාධයකට ලක්විය. ඒ හේතුවෙන් (මාලිංග දකුණතින් වේග පන්දු යවන්නෙකි) මාලිංග යැවූ පන්දුවත් නියමිත ඉලක්කයෙන් පිටතට ගිය අතර පසුව එය වයිඩ් පන්දුවක් ලෙසින් සටහන් කරන ලදි.
පන්දුව යැවීමත් සමගින් බිම ඇද වැටුණු දකුණත් පන්දු යවන්නා, සිය වම් උරහිස අල්ලාගනිමින් මහත් වේදනාවෙන් පෙළුණේය. එතැන් සිට මාලිංග යැවූ ඕවරය ජනිත් ලියනගේ විසින් සම්පූර්ණ කරන ලද අතර මාලිංග නැවත ක්‍රීඩා පිටියට නොපැමිණියේය.
උරහිස පිළිබඳ එක්ස් කිරණ වාර්තාවක් ඇතුළු අනෙකුත් වෛද්‍ය පරීක්ෂණ සඳහා එෂාන් මාලිංගව කොළඹ යැවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳුදා නිවේදනය කළේය.
විස්සයි-20 තරග 8 කදී කඩුලු 8 ක් දවාගෙන සිටින එෂාන් මාලිංග පන්දු 17 කට වරක් කඩුල්ලක් දවාගැනීමේ වාර්තාවකට හිමිකම් කියයි.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිල වෙබ් අඩවිය අනුව ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන සංචිතය ඊයේ (පෙබරවාරි 2 වැනිදා) පස්වරු 6.00 වන තුරත් නම්කර නොතිබිණ. එහෙත් ලෝක කුසලාන සංචිතය නම් කිරීමට නියමිතව තිබූ අවසන් හෝරාව, ජනවාරි 31 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 න් අවසන් වූ බැවින්, ශ්‍රී ලංකා සංචිතයේ සිදුවන කිසියම් වෙනසක් සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තාක්ෂණික කමිටු අනුමැතිය ලබාගත යුතුව තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.