
පළමු එක්දින තරගය අවසානයේදී “තුච්චම තණතීරුවක්” යයි හැරී බෲක්ගේ දරුණු විවේචනයට ලක්වූ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම අද (27 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදී එංගලන්තය කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 357 ක් ලබාගත්තේය. ජෝ රූට් පන්දු 108 කින් නොදැවී ලකුණු 111 ක් ලබාගනිද්දී හැරී බෲක් පන්දු 57 කින් සිය ශතකය ලබාගත්තේය.
ලකුණු 358 ක ඉලක්කයක් දෙස බලාගෙන පිතිහරඹ කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර 46.4 කදී ලකුණු 304 ක් ලබාගැනීමෙන් පසුව පරාජය පිළිගත්හ. මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී එංගලන්තය 2-1 ක ජයක් අත්කර ගත්තේය.
පළමු තරගය නිමාවේදී තණතීරුව සම්බන්ධයෙන් හැරී බෲක් කුමක් කීවත්, දෙවැනි එක්දින තරගයේදී දෙපිලම ලකුණු 442 ක් ලබාගත්හ. අද පැවැති තුන්වැනි තරගයේදී දෙපිලම ලකුණු 661 ක් ලබාගත්හ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අති විශිෂ්ට පිතිහරඹයක නිරත වූ පවන් රත්නායක, තම සිව්වැනි එක්දින තරගයේදීම මංගල ටෙස්ට් ශතකය වාර්තා කළේය. පිතිකරු ලයිස්තුවේ අංක 4 ට පිවිසි පවන් රත්නායක ශ්‍රී ලංකා ඉනිමේ කොඳු නාරටිය විය. දිගු කලක් තිස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යවම සිටි අංක 4 පිතිකරුවාගේ භූමිකාව තමන්ට බාරගත හැකි බව පවන් රත්නායක අද දිනයේ මොනවට පැහැදිළි කළේය.
ලකුණු 358 ක අභියෝගාත්මක ඉලක්කයක් කරා ගිය පළමු ඕවර 9 දී ශ්‍රී ලංකාව ලකුණු 10 කට ආසන්න වේගයක් පවත්වාගෙන ගියේය. එහෙත් තුන්වැනි කඩුල්ල ලකුණු 94 දී දැවී යාමෙන් පසුව ලකුණු වේගය තරමක් අඩාල වූයේ ප්‍රහාරාත්මක ඕවර 10 අවසන් වූ බැවිනි. කෙසේ වෙතත් ලකුණු වේගය සාර්ථක මට්ටමක රඳවා ගනිමින් ඉදිරියට ගිය පවන් රත්නායක, පන්දු 57 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කරන විට ඔහුගේ ඉනිමට ඇතුළත්ව තිබුණේ හතරේ පහර 4 ක පමණි.
මුහුණ දුන් 104 වැනි පන්දුවේදී ලයාම් ඩෝසන් හමුවේ තනි ලකුණක් ලබාගනිමින් සිය ශතකය සම්පූර්ණ කළ රත්නායකගේ සම්පූර්ණ ඉනිම හතරේ පහර 12 කින් සහ හයේ පහරකින් සමන්විත විය.
ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට අවසන් ඕවර 10 න් (පන්දු 60 කින්) ලකුණු 106 ක් අවශ්‍යව තිබුණු අතර රත්නායක සහ වනිඳු හසරංග දෙදෙනා පිටියේ සිටියෝය. අදිල් රෂීඩ්, සුපුරුදු පරිදි තීරණාත්මක අවස්ථාවකදී හසරංග දවාගනිමින් තරගයේ වාසිය එංගලන්තය වෙතට ඇද දුන්නේය.
වෙහෙසකර සටනක් අවසානයේ පවන් රත්නායක දැවී යාමත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජය පිළිගැනීමට සිදුවිය.
ජෝ රූට් මෙම තරගාවලියේ තරග 3 කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 247 කි. එය අර්ධ ශතක දෙකක් සහ ශතකයකින් සමන්විත විය.
රූට් සමගින් එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 191 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ නායක හැරී බෲක් සිය මුල් ලකුණු 50 වෙනුවෙන් පන්දු 40 කට මුහුණ දුන් නමුත් එතැන් සිට ශතකය කරා පියමං කළේ පන්දු 17 කිනි. හතරේ පහර 11 කින් සහ හයේ පහර 9 කින් සමන්විත වූ බෲක්ගේ ඉනිම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නම් භයංකාර සිහිනයක් වැනි විය.
දඟ පන්දු යවන්නන්ගේ දඩ බිමකදී තරග දෙකක් ක්‍රීඩා කළ ප්‍රමෝද් මධුෂාන් එම තරග දෙකේදීම ලකුණු 59 කට දවාගත්තේ කඩුලු 3 කි. ප්‍රමෝද් පළමු තරගයේදී ලකුණු 39 කට කඩුලු 3 ක් දවාගත් නමුත් ඒවා දවාගන්නා ලද කඩුලු නොව, එංගලන්ත පිතිකරුවන් පූජා කළ කඩුලු විය. එබැවින් අද පැවැති තුන්වැනි තරගයේදී ප්‍රමෝද් මධුෂාන් ඉවත් කරමින් එතැනට වනිඳු හසරංග කැඳවීය.
ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලාංකික දඟ පන්දු යවන්නන් හමුවේ අනුකම්පා විරහිත පිතිහරඹයක නිරත වූ හැරී බෲක්ගේ පිරිවර ඕවර 50 කින් ලකුණු 357 ක් උදුරා ගැනීමයි. එංගලන්ත නායකයා සිය ඉනිම නිමා කළේ අසිත ප්‍රනාන්දු යැවූ අවසන් පන්දුව නරඹන්නන් අතරට යවමිනි.
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තණතීරුව හැසිරෙන ආකාරය හොඳින් අධ්‍යනය කළ එංගලන්තය අද තරගයේදී කාසියේ වාසිය දිනාගැනීමත් සමගින් නොපැකිළිවම පන්දුවට පහර දීම තෝරා ගත්තේය.
තරගයේ පළමු ඕවර 10 නිමාවන විටත් පුවරුවේ තිබුණේ ලකුණු 40 කි. එහෙත් ඉනිමේ අඩක් අවසන් වීමටත් මත්තෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය විතීවි අවස්ථා දෙකම අපතේ යැවූ බැවින් එංගලන්ත පිතිකරුවෝ එතැන් සිට ප්‍රහාරය ආරම්භ කළහ. 31 වැනි ඕවරයේ සිට 40 වැන්න දක්වා ලකුණු 73 ක් ලබාගත් එංගලන්ත පිතිකරුවෝ 41 වැනි ඕවරයේ සිට 50 වැන්නේ නිමාව දක්වා ලකුණු 130 ක් ලබාගත්හ.
මේ අතරවාරයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දවාගත හැකිවූයේ ජේකබ් බෙතීල් පමණි.
- 213


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.