Last Update  :  2025-11-10 07:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව උෂාන්ට

උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව උෂාන්ට

editorial - 2021 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(නාමල් පතිරගේ)

ඇමරිකාවේ ටෙක්සාස්හි උසස් අධ්‍යාපන ආයතන අතර ඊයේ (27 වැනිදා) පැවැති මලල ක්‍රීඩා තරගාවලියකදී මීටර 2.28 ක දක්ෂතාවක් පෙන්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක උෂාන් තිවංක පෙරේරා වසර 17 කට පසුව උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කළේය. ශ්‍රී ලංකා උස පැනීමේ වාර්තාව වූයේ මංජුල කුමාර විජේසේකර විසින් 2004 දී පිහිටුවන ලද මීටර 2.27 ක දක්ෂතාවයි.


උස පැනීමේ ගෘහස්ත ශ්‍රී ලංකා වාර්තාව ද තමන් සතු කරගැනීමට උෂාන් පසුගියදා සමත්විය. මීගමුව මාරිස්ටෙලා විදුහලෙන් මලල ක්‍රීඩා පිටියට පිවිසි ක්‍රීඩකයකු වන 31 හැවිරිදි උෂාන් තිවංක පෙරේරා මේ වන විට ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ උසස් අධ්‍යාපන කටයුතු වල නිරතව සිටී.


මෙම තරගාවලියේදී අවස්ථා තුනකදී මීටර 2.12 ක්, මීටර 2.26 ක් සහ මීටර 2.28 ක් ලෙසින් උෂාන්ගේ උත්සාහයන් තුන වාර්තා විය. උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව සෙන්ටිමීටරයකින් ඉහළට ගෙන යාමට වසර 17 ක් ගතවීම විශේෂයෙන් කැපී පෙනෙන්නකි.


උෂාන්ගේ මෙම දස්කම නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙසින් පිළිගන්නා බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රානාන්දු මහතා පැවසීය.

කොරෝනා වයිරසයේ බලපෑමෙන් පසුව ඇමරිකාවේදී පැවැති පළමු වැනි මලල ක්‍රීඩා තරගාවලියද මෙයයි. උෂාන්ගේ මෙම දස්කම මේ වසරේදී උස පැනීම ඉසව්ව වෙනුවෙන් වාර්තා වූ ලොව තුන්වැනි හොඳම දක්ෂතාව ලෙසින් ද සැලකේ. නවසීලන්ත ක්‍රීඩකයකු එහි මුල් තැන ලබා සිටී.


උෂාන් තිවංක, රාගම මහබාගේ කරුණාරත්න බෞද්ධ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා පසුව මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා ගත්තේය. ඔහු මලල ක්‍රීඩා පිටියට පිවිසියේ මාරිස්ටෙලා විද්‍යාලයෙනි.


වසර 2004 දී කොළඹදී පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී සහ වසර 2005 කොරියාවේ ඉංචියොන් නුවරදී පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර 2.27 ක දක්ෂතාවක් පෙන්වමින් උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීමට මංජුල කුමාර විජේසේකර සමත්ව සිටියේය. ඔහු එම අවස්ථා දෙකේදීම ආසියානු මලල ක්‍රීඩා ශූරතා රන් පදක්කම දිනාගත්තේය.


අදහස් (0)

උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව උෂාන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.