Last Update  :  2025-09-13 08:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඇමැතිවරයාගේ අභිමතය රටේ ක්‍රීඩාවට හානියක්

ඇමැතිවරයාගේ අභිමතය රටේ ක්‍රීඩාවට හානියක්

editorial - 2022 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(නාමල් පතිරගේ)

ක්‍රීඩා නව රෙගුලාසි මගින් ක්‍රීඩා ඇමැතිවරයාගේ අභිමතය නැවත බලගැන්වීමට උත්සාහ දැරීම රටේ ක්‍රීඩාවේ අවගමනයකට හේතුවිය හැකි යැයි ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු නීති උපදේශකවරයකු වන පණ්ඩුක කීර්තිනන්ද මහතා පවසයි.

ඇමැතිවරයාගේ අභිමතය ඉවත් කිරීමට මීට පෙර 2013 ක්‍රීඩා රෙගුලාසි සංශෝධනයේදී පියවර ගත්තේ මෙම තත්ත්වය අවම කිරීමට වුවත් නැවැත එය බලගැන්වීමට දරන උත්සාහය නැවැත හිටපු තැනටම යාමක් වන බවත් ඔහු පැවසුවේ ක්‍රීඩා රෙගුලාසි පිළිබඳව ලංකාදීපය කළ විමසුමකදීය.

කීර්තිනන්ද මහතා පවසන්නේ ක්‍රීඩා ඇමැති  රොෂාන් රණසිංහ මහතා පැනවූ නව ක්‍රීඩා රෙගුලාසි මාලාවේ වගන්ති ගණනාවකින් ගැටලු පැන නැගිය හැකි බවයි.

1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 31 වැනි වගන්තිය සමග කියවිය යුතු 41 වැනි වගන්තිය යටතේ  ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා විසින් ක්‍රීඩා සංශෝධිත  නව රෙගුලාසි මාලාවක් පනවා තිබේ.

ක්‍රීඩා ඇමැතිවරයා ගැසට් කළ දිනයේ පටන් එම රෙගුලාසි මාලාව ක්‍රියාත්මකවීම ආරම්භ වේ. එහෙත් එය නීතිගත වන්නේ ගැසට් නිවේදනයෙන් මාස දෙකකට නොවැඩි කාලයකදී පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමකින් පමණි.

ගැසට් නිවේදනය නිකුත්වූදා සිට නව රෙගුලාසි බලගැන්විය හැකි අතර ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට නොහැකි වුවහොත් එතැන් සිට එම රෙගුලාසි මාලාව ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට සිදුවන අතර එහෙත් නව රෙගුලාසි මාලාවට අනුගතව ඒ දක්වා කළ ක්‍රියාකාකරම් අහෝසි නොවේ.

මේ වනවිට සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ නීති උපදේශකයකු ලෙස කටයුතු කරන කීර්තිනන්ද මහතා  වසර 2010-15  කාල සීමාවේ ක්‍රීඩා අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ හා නවීන් දිසානායක යන මහත්වරුන් යටතේ අමාත්‍යාංශ නීති උපදේශකවරයා ලෙස කටයුතු කළේය.

නව ක්‍රීඩා රෙගුලාසි  පිළිබඳව ඔහු ලංකාදීපයට මෙසේද පැවසීය. ‘‘සුදුසුකම් නොමැති අයට නව  රෙගුලාසි යටතේ ඇමතිවරයාගේ අනුමැතිය  ලබා ගැනීමෙන් ක්‍රීඩා නිලතල දැරිය  හැකි බව දන්වා තිබෙනවා. ඇමතිවරයාගේ අභිමතය රටේ  ක්‍රීඩාවට හානිකර විය හැකි කරුණක් බැවින් එය පනතෙන් ඉවත් කරන්න අපි කලින් කටයුතු කළා.

ඒ වගේම ද්විත්ව පුරවැසියකු වන්නේ නම් ක්‍රීඩා සංගමයක තනතුරු දැරිය නොහැකි බව දැක්වෙනවා. මෙවැනි රෙගුලාසියක් තවම පාර්ලිමේන්තුව තුළවත් ක්‍රියාත්මක වෙන්නේ නෑ. එය මතභේදාත්මකයි.

ඒ වගේම  වයස 70ට වැඩි පුද්ගලයන්ට ක්‍රීඩා සංගම් නිලතල දැරීම සීමා කරලා තිබෙනවා. මෙම තනතුරු බොහෝමයක් ගරු තනතුරු වන බැවින් ඊට වයස සීමාවක් පැනවීම ජාත්‍යන්තර ප්‍රඥප්තීන්වලටත් පටහැණියි.

 ජාතික ඔලිම්පික් කමිටුවට රෙගුලාසි පනවන්න ක්‍රීඩා අමාත්‍යාංශයට බැහැයි කියලා නියමයක් නෑ. නමුත් එය ජාත්‍යන්තර ක්‍රීඩා නීතිය හා ගැටෙන ආකාරයෙන් ඉදිරිපත් වුවහොත් එය මතභේදාත්මකයි.

ඒ අනුව වත්මන් ක්‍රීඩා ඇමැතිවරයාගේ ක්‍රීඩා නව රෙගුලාසි කීපයකම අහිතකර තත්ත්වයක් පෙනී යනවා. එයින් වන්නේ රටේ ක්‍රීඩාව නැවැත  ආපස්සට යාමක් විතරයි.

වසර 2012 පාර්ලිමේන්තුවේ අනුමත ජාතික ක්‍රීඩා ප්‍රතිපත්ති මාලාවක් සකස් කළා. ඒක නිවැරදි විදියට ක්‍රියාත්මක කළොත් මේ සියලු ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනවා.

බැලූ බැල්මට නව රෙගුලාසි ගණනාවක් මේ ආකාරයෙන් නිසි විමර්ශනයකින් තොරව සකස් කළ ඒවා බව  පේනවා. ඉදිරියේදී ඒවා මානව හිමිකම් පැමිණිලි තෙක් දුරදිග යන්නත් පුළුවන්.’’ කීර්තිනන්ද මහතා ජාතික ක්‍රීඩා පනත් දෙකත් සකස් කිරීමට ඍජුව දායක වූවෙකි.


අදහස් (1)

ඇමැතිවරයාගේ අභිමතය රටේ ක්‍රීඩාවට හානියක්
  • Sunil Friday, 23 December 2022 01:17 PM

    මේ ඇමැතිලා අත ගසන්නේ කුමකටද? එය විනාශයි...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.