
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 19 වැනි අදියර මෙම මස 28 වැනිදා ආරම්භ වන අතර එහි සමාරම්භක තරගයේදී ඉකුත් වසරේ (2025) ශූරයන් වූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම බෙංගලූරු නුවර එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණය්දී තරග බිමට පිවිසීමට නියමිතය.
කණ්ඩායම් 10 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර අයි.පී.එල්. තරගාවලිය තරග 84 කින් සමන්විත වන අතර මූලික වටයේ තරග 80 ක් සහ අවසන් වටයේ තරග 4 ක් ඊට ඇතුළත් වේ. මැයි මස 31 වැනිදා දක්වා ඉන්දියාව පුරා ක්‍රීඩාංගණ 13 කදී මෙවර තරගාවලිය පැවැත්වීමට නියමිතය. චෙන්නායි සුපර් කිංගස්, දිල්ලි කැපිටල්ස්, ගුජරාට් ටයිටන්ස්, කොල්කටා නයිට් රයිඩර්ස්, ලක්නව් සුපර් ජයන්ට්ස්, මුම්බායි ඉන්දියන්ස්, පන්ජාබ් කිංග්ස්, රාජස්ථාන් රෝයල්ස්, රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු සහ සන්රයිසස් හයිද්‍රාබාද් මෙවර තරගාවලියට සහභාගි වන කණ්ඩායම් වේ.
එහිදී රුතුරාජ් ගයික්වාඩ් විසින් චෙන්නායි පිලද, අක්සර් පටේල් විසින් දිල්ලි පිලද, ශුබ්මන් ගිල් විසින් ගුජරාට් පිලද, අජිනක්‍යා රහනේ විසින් කොල්කටා පිලද, රිෂාබ් පාන්ට් විසින් ලක්නව් පිලද, හර්දීක් පාණ්ඩ්‍යා විසින් මුම්බායි පිලද, ශ්‍රෙයාස් අයියර් විසින් ජන්ජාබ් පිලද, රියාන් පරාග් විසින් රාජස්ථාන් පිලද, රජිත් පටීදාර් විසින් බෙංගලූරු පිලද, පැට් කමින්ස් විසින් හයිද්‍රාබාද් පිලද මෙහෙයවනු ලබති.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් දෙදෙනකු වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර මෙවර තරගාවලියේදී පිළිවෙළින් මුම්බායි ඉන්දියන් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරුවන් ලෙස කටයුතු කරති. සෙසු කණ්ඩායම් වල පුහුණුකරුවන් අතර ස්ටීවන් ෆ්ලෙමිං (චෙන්නායි), ජස්ටින් ලැංගර් (ලක්නව්), රිකී පොන්ටින් (පන්ජාබ්), ඇන්ඩි ෆ්ලවර් (බෙංගලූරු) සහ ඩැනියෙල් විටෝරි (හයිද්‍රාබාද්) වැනි හිටපු ප්‍රභල ක්‍රීඩකයෝද වෙති.
මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 7 දෙනෙක් සහභාගි වන අතර ඔවුන්ගෙන් තිදෙනෙක් මෙවර (2026) ක්‍රීඩක වෙන්දේසියේදී කණ්ඩායම් හිමිකරුවන් විසින් මිලදී ගනු ලැබූ ක්‍රීඩකයෝ වෙති. සෙසු ක්‍රීඩකයන් සිවුදෙනා ඉකුත් වසරේ (2025) තරගාවලියට ක්‍රීඩා කළ කණ්ඩායම්වලින් මෙවර තරගාවලිය සඳහාද එම කණ්ඩායම්වලම රඳවාගත් ක්‍රීඩකයෝය.
එහිදී මතීෂ පතිරණ කොල්කටා පිලටද, වනිඳු හසරංග ලක්නව් පිලටද, නුවන් තුෂාර බෙංගලූරු පිලටද, පැතුම් නිස්සංක සහ දුෂ්මන්ත චමීර දිල්ලි පිලටද, කමිඳු මෙන්ඩිස් සහ ඒෂාන් මාලිංග හයිද්‍රාබාද් පිලටද ක්‍රීඩා කරති. මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී මතීෂගේ සේවය ලබාගැනීම සඳහා කොල්කටා පිල ඉන්දීය රුපියල් කෝටි 18 ක්ද, පැතුම්ගේ සේවය ලබාගැනීම සඳහා දිල්ලි පිල ඉන්දීය රුපියල් කෝටි 4 ක්ද, වනිඳුගේ සේවය ලබාගැනීම සඳහා ලක්නව් පිල ඉන්දීය රුපියල් කෝටි 2 ක්ද වැය කළේය.
මූලික වටය අවසානයේ ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන අතර පැවැත්වෙන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මැයි මස 26 වැනිදා පැවැත්වීමට නියමිතය. අනතුරුව මැයි මස 27 වැනිදා ලකුණු සටහනේ තෙවැනි සහ සිවුවැනි ස්ථාන අතර පිළිමළුන් පිටුදැකීමේ තරගයක් පැවැත්වෙනු ඇත.
පළමු අවසන් පූර්ව තරගයේදී පරාජයට පත්වන කණ්ඩායම සහ පිළිමළුන් පිටුදැකීමේ තරගයේ ජය ලබන කණ්ඩායම අතර මැයි මස 29 වැනිදා දෙවැනි අවසන් පූර්ව තරගය පවත්වනු ලැබේ. තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ මැයි මස 31 වැනිදා බෙංගලූරු නුවර එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණය්දීය.
මෙවර තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඉදිරියෙන්ම සිටියි. මේ දක්වා ශූරතා 5 ක් (2010, 2011, 2018, 2021 සහ 2023) දිනාගෙන ඇති ඔවුහු, අනු ශූරතා 5 කටද (2008, 2012, 2013, 2015 සහ 2019) හිමිකම් කියති. මේ දක්වා ශූරතා 5 ක් (2013, 2015, 2017, 2019 සහ 2020) සහ එක් අනු ශූරතාවක් (2010) හිමිකර ගෙන සිටින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමද මෙවර තරගාවලියට සහභාගි වන ප්‍රභල කණ්ඩායමකි.
එම කණ්ඩායම් දෙකට අමතරව මෙවර තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අතරින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තෙවරක්ද (2012, 2014 සහ 2024), රාජස්ථාන් රෝයල්ස් (2008), සන්රයිසස් හයිද්‍රාබාද් (2016), ගුජරාට් ටයිටන්ස් (2022) සහ රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු (2025) යන කණ්ඩායම් එක් වරක් බැගින් ශූරතාවට හිමිකම් කියා තිබේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.