
(දමින්ද විජේසූරිය)
මේ වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරඟාවලියට සහභාගී වීම සඳහා ඉල්ලුම් කර ඇති ක්‍රීඩකයින් ඊට පෙර තම ශාරීරික යෝග්‍යතාව සනාථ කිරීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය සමත් වූ පසුව පමණක් අයි.පී.එල්. තරගාවලියට සහභාගි වීම සඳහා අවසර පත්‍රය නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග වාර්ෂික ගිවිසුමකට බැඳී සිටින ක්‍රීඩකයන් 54 දෙනෙක් මේ දිනවල ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයට මුහුණ දෙමින් සිටින අතර ඔවුන්ගෙන් 7 දෙනෙක් අයි.පී,එල්. තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර ඉල්ලා තිබේ. එහෙත් ඔවුන් අතුරින් ශාරීරික යෝග්‍යතාව සමත්ව ඇත්තේ ක්‍රීඩකයන් තිදෙනකු පමණි.
දුෂ්මන්ත චමීර, පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස් තිදෙනා පමණක් ඊයේ (20 වැනිදා) සවස් වන විට ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය සමත්ව සිටියහ. ඔවුන් තිදෙනාටම අයි.පී.එල්. ක්‍රීඩා කිරීමේ අවසර පත් නිකුත් කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය නිවේදනයකින් තහවුරු වෙයි.
මාස දෙකක කාලයක් පුරා පැවැත්වෙන ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය ක්‍රීඩා අමාත්‍යංශයේ අධීක්‍ෂණය ඇතිව පැවැත්වෙන්නකි. එහෙත් ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු කාර්යමණ්ඩලයේ ද සහයෝගය ලැබේ. මුල් අවස්ථාවේදී ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය සමත් වන සියලුම ක්‍රීඩකයන් තවත් මාස දෙකකින් පැවැත්වෙන දෙවැනි පරීක්‍ෂණයත් සමත්වීම අනිවාර්ය අවශ්‍යතාවකි. එසේ නොවන ක්‍රීඩකයන්ට ඉදිරියේදී නොයෙකුත් ගැටළු වලට මුහුණ දීමට සිදුවන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියෙක් පැවසීය.
“අපි ලෝක කුසලාන තරගාවලියට යනකොටත් සම්පූර්ණ ශාරීරික යෝග්‍යතාවෙන් සිටියේ ක්‍රීඩකයන් තුන් හතර දෙනකු විතරයි. අනිත් අය එක එක සෙල්ලම් පෙන්නලා කණ්ඩායම ඇතුළේ තමන්ගේ ස්ථානය හදාගත්තා” යයි සිය නම හෙළිදරව් නොකිරීමේ එකඟතාව මත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියා පැවසීය.
“මේ ගොල්ලන්ගේ මේ සෙල්ලමට (නියමිත ශාරීරික යෝග්‍යතාව නැතිවත් ජාතික කණ්ඩායමට ඇතුළත් වීම) මොකක් හරි ස්ථිර විසඳුමක් තියෙන්න ඕනා. මොකද එහෙම වුණේ නැත්නම් මෙයාලා සල්ලි හම්බකරන තරගාවලි වලට ගිහිල්ලා, එක එක අබාධ හදාගෙන ඇවිත් ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන්නේ ආබාධිතයෝ හැටියටයි” යයි ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
අයි.පී.එල්. තරගාවලිය පැවැත්වෙන සමයේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට කිසිම අන්තර්ජාතික තරගාවලියක් නොමැත. ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ අන්තර්ජාතික තරගාවලිය වන්නේ එක්දින තරග දෙකක් සහ විස්සයි-20 තරගයක් සඳහා ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමයි. මෙය තවමත් තහවුරු නොවූ තරගාවලියක් ලෙසින් තිබෙන නමුත් එය දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානියට ආධාර ලෙසින් පැවැත්වෙන තරගාවලියක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා මීට මාස දෙකකට පමණ කලින් පැවසීය.
ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවල අවශ්‍ය ප්‍රමිතීන් සාර්ථකව සපුරාලන අයට පමණක් දැනට පැවැත්වෙන දේශීය තරඟාවලියට සහභාගී වීමට අවසර ලැබෙන අතර අයි.පී.එල්. තරගාවලියට අවසර ලැබෙන්නේ ද ඒ අනුවය.
වනිඳු හසරංග, එෂාන් මාලිංග සහ මතීෂ පතිරණ තිදෙනාම තවම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට භාජනය වී නොමැත. ඔවුන් තිදෙනාම තවමත් සුවය ලබමින් සිටිති. සුවය ලැබීමෙන් පසුව ඔවුන් ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයට යොමු කෙරෙන අතර එහි ප්‍රතිඵල අනුව ඔවුනට අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවසරය ලැබෙනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.