Last Update  :  2026-02-03 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් නිල ප්‍රකාශයක්
විස්සයි-20 ලෝක කුසලාන

අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් නිල ප්‍රකාශයක්

editorial - 2026 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී තෝරා බේරා ගනිමින් තරග වලට සහභාගී වන ලෙස තම ජාතික කණ්ඩායමට උපදෙස් දීමට පකිස්ථාන රජය විසින් ගන්නා ලද තීරණය සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව පහත සටහන් ප්‍රකාශය නිකුත් කර තිබේ. 

අන්තර්ජාතික ක්‍රිකට් සභාව පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් නිල මට්ටමේ සන්නිවේදනයක් බලාපොරොත්තුවෙන් සිටියද, තෝරාගත් තරග සඳහා පමණක් සහභාගීවීම පිළිබඳ පාකිස්තානු රජය විසින් නිකුත් කරන ලද මෙම ස්ථාවරය ගෝලීය ක්‍රීඩා ඉසව්වක මූලික පදනම සමඟ සැසඳීම දුෂ්කර ය. මක්නිසාද යත් මෙම ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන සියලුම සුදුසුකම් ලත් කණ්ඩායම්, තරගාවලියේ කාලසටහනට අනුව, සමාන කොන්දේසි මත තරඟ කිරීමට අපේක්ෂා කරන බැවිනි. 

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ගෝලීය තරගාවලි සංවිධානය කරනු ලබන්නේ සෑම කණ්ඩායමක්ම තරගාවලි සඳහා අඛණ්ඩව සහභාගි වීම, ඒ ඒ කණ්ඩායම් වල පවතින ස්ථාවර දස්කම්, තරඟකාරිත්වය සහ සාධාරණත්වය මතය. එවන් තත්ත්වයකදී තෝරාගත් තරග වලට පමණක් සහභාගිවීම මගින් ක්‍රීඩාවේ ආත්මය සහ පරිශුද්ධභාවය අඩපණ කරයි.

ජාතික වශයෙන් තිබෙන ප්‍රතිපත්තිමය කාරණාවලදී අන්තර්ජාතික ක්‍රිකට් සභාව එක් එක් රජයන්ගේ භූමිකාවන්ට ගරු කරයි. එසේ වුවද, පාකිස්තානු රජය විසින් ගන්නා ලද මෙම තීරණය ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය වටිනාකම් සහ, පාකිස්තානයේත් වෙසෙන මිලියන ගණනක් ද ඇතුළුව, ලොව පුරා ජීවත්වන ක්‍රිකට් ලෝලීන්ගේ සුභසාධනය සඳහා නම් නොවේ.

එබැවින්, පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින්, තමන්ගේම රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධියත් සැලකිල්ලට ගනිමින්, මෙවන් තීරණයක් මගින් ඇතිවිය හැකි දිගු කාලීන බලපෑම් මොනවාද යන්න සලකා බලනු ඇතැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව බලාපොරොත්තු වේ. මක්නිසාද යත් මෙවන් තීරණයක් ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාවේ පැවැත්මට සෘජු බලපෑම් එල්ල කරන අතරම, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සාමාජිකයකු මෙන්ම ප්‍රතිලාභියෙකු වශයෙන් පාකිස්තානයටද බලපෑම් ඇතිකරන බැවිනි. 

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මූලික වගකීම විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සාර්ථකව පැවැත්වීමයි. එය, පාකිස්තානයත් ඇතුළුව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සියලුම සාමාජිකයින්ගේ වගකීම විය යුතුය. 

එබැවින්, සියලුම පාර්ශවකරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරන අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි යෝජනාවක් සම්බන්ධයෙන් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුවනු ඇතැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව අපේක්ෂා කරයි.

- 213


අදහස් (0)

අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් නිල ප්‍රකාශයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.