Last Update  :  2025-11-20 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 Cricket ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ හොං කොං පරදවති

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ හොං කොං පරදවති

editorial - 2025 නොවැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක්‍රිකට් සභාව සංවිධානය කරන නැගී එන තරු ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය ලෙස ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ හොං කොං කණ්ඩායම අතර කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී පැවැති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ සමත් වූහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 118 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඕවර 13.5 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියේය. නුවනිඳු ප්‍රනාන්දු පන්දු 27 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 47 ක්ද, සහන් ආරච්චිගේ පන්දු 13 කදී හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 14 ක්ද රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. 

ලකුණු 32 කට කඩුලු 2 ක් බිඳවැටී තිබියදී ආරම්භක පිතිකරු නිෂාන් මධුෂ්ක (35) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නුවනිඳු, ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමුවේය. පන්දු 28 කදී වාර්තා වූ මධුෂ්කගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් හොං කොං කණ්ඩායමට ටේ‍රවීන් මැතිව් ප්‍රමුඛ ශ්‍රී ලංකා ‘ඒ’ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 117 ක් පමණි. තරගයේ වීරයා බවට පත්වූ මැතිව් ලකුණු 21 කට කඩුලු 3 ක් දවාගත් අතර විජයකාන්ත් වියස්කාන්ත් සහ නායක දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 බැගින් බිඳහෙළුෑහ. 

හොං කොං කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ශිව් මතූර් පන්දු 23 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 26 ක් ලබාගත්තේය. ආරම්භක පිතිකරු අන්ෂුමාන් රාත් හතරේ පහර 2 ක් සමග පන්දු 27 කින් ලකුණු 21 ක්ද, නායක යසීම් මුර්ටාසා හයේ පහරක් සමග පන්දු 24 කින් ලකුණු 20 ක්ද රැස්කළහ. 


හොං කොං පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 117 
(අන්ෂුමාන් රාත් 21, ශිව් මතූර් 26, යසීම් මුර්ටාසා 20, ඒසන් ඛාන් නොදැවී 17, ටේ‍රවීන් මැතිව් 21/3, විජයකාන්ත් වියස්කාන්ත් 11/2, දුනිත් වෙල්ලාලගේ 24/2) 

ශ්‍රී ලංකා ‘ඒ’ පිල - ඕවර 13.5 කදී කඩුලු 3 කට 120 
(නිෂාන් මධුෂ්ක 35, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 47, සහන් ආරච්චිගේ නොදැවී 14) 

-036 

ඡායාරූප - ආසියානු ක්‍රිකට් සභාව අනුග්‍රහයෙනි


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ හොං කොං පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.