
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නිත්‍ය නායක චරිත් අසලංක අසනීප තත්වයෙන් පෙළීම හේතුවෙන් ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිටපු නායක දසුන් ශානකට පැවරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
චරිත්ට අමතරව වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුද අසනීප තත්වයෙන් පෙළෙන බව දැනගන්නට ඇති අතර ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනාම මෙම තුන් කොන් තරගාවලියට සහභාගි නොවන බවද වාර්තා වේ. ඔවුන්ගේ අසනීප තත්වය සුවවීම සඳහා අවශ්‍ය කාලය සහ විවේකය ලබාදීම සඳහා එම තීරණය ගෙන ඇතැයි ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.
මේ අතර පාකිස්තානයට එරෙහිව පැවැති තුන්වැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනාගත් පවන් රත්නායක විස්සයි-20 සංචිතයට කැඳවීමටද තේරීම් කමිටුව කටයුතු කර තිබේ. තෙවැනි එක්දින තරගයේදී පන්දු 37 කට මුහුණදුන් පවන් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 32 ක් රැස්කළේය.
මේ දක්වා දේශීය අන්තර් සමාජ විස්සයි-20 තරග 32 කට සහභාගි වී ඇති පවන්, එහිදී ලකුණු 245 ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ 12.25 ක සාමාන්‍යයක් සහ 101.23 ක ලකුණු රැස්කිරීමේ වේගයක් රඳවාගනිමිනි. ඔහුගේ ඉහළම විස්සයි-20 ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වන්නේ ලකුණු 42 කි.
තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවීමට නියමිත තරග
නොවැ. 20 - සිම්බාබ්වේට එරෙහිව රාවල්පිණ්ඩිහිදී
නොවැ. 22 - පාකිස්තානයට එරෙහිව රාවල්පිණ්ඩිහිදී
නොවැ. 25 - සිම්බාබ්වේට එරෙහිව රාවල්පිණ්ඩිහිදී
නොවැ. 27 - පාකිස්තානයට එරෙහිව රාවල්පිණ්ඩිහිදී
නොවැ. 29 - අවසන් මහ තරගය රාවල්පිණ්ඩිහිදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.