
(දමින්ද විජේසූරිය)
කලින් සැලසුම් කළ පරිදි ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) තරගාවලිය මේ වසරේ දෙසැම්බර් මාසයේදී නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. හයවැනි වරටත් පැවැත්වීමට නියමිතය තිබූ එල්.පී.එල්. තරගාවලිය නොවැම්බර් 27 වැනිදා සිට දෙසැම්බර් 23 දක්වා කොළඹ, පල්ලෙකැළේ සහ දඹුල්ලේදී පැවැත්වීමට නියමිතව තිබිණ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ ලබන වසරේ පෙබරවාරි සිට -මාර්තු දක්වා කාලය ඇතුළත ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා හොඳින් සූදානම් වීමේ පුළුල් අවශ්‍යතාවය සලකා බැලීමෙන් පසුව එල්.පී,එල්. තරගාවලිය අතැර දැමීමට තීරණය කළ බවයි. ලෝක කුසලාන තරගාවලිය සාර්ථකවව පැවැත්වීම සඳහා ක්‍රීඩාංගණවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අපේක්‍ෂාවයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරන 2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය කණ්ඩායම් 20 ක තරගාවලියකි. එහි තරග 20 ත් 22 ත් අතර සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය. මෙම තරග පැවැත්වීම සඳහා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණය සහ පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සූදානම් කෙරෙමින් පවතී.
මෙම ක්‍රීඩාංගණවල පවතින ප්‍රේක්‍ෂකාගාර වඩාත් දියුණු මට්ටමකට පත්කරන නමුත් එස්.එස්.සී. පිටියේදී විශාල ප්‍රේක්‍ෂකාගාර ඉදි නොකෙරෙනු ඇත. ශ්‍රී ලංකාව සහභාගි වන ලෝක කුසලාන තරග එස්.එස්.සී. පිටියේදී නොපැවැත්වීම ඊට ප්‍රධාන හේතුවයි. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන ලෝක කුසලාන තරග ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහ පල්ලෙකැළේදී පැවැත්වීමට නියමිතය.
“අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිර්දේශය අනුව ඉදිරියේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සියලුම සත්කාරක ක්‍රීඩාංගණ, ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර තරඟයක් සඳහා තිබිය යුතු අවශ්‍යතා සපුරාලිය යුතුය.
“ඒ අනුව, 2025 එල්.පී,එල්. තරගාවලිය වඩාත් සුදුසු කාලයකදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. එමඟින් ලෝක කුසලාන තරගාවලියට පෙර ක්‍රීඩාංගණ වඩාත් සුදුසු තත්ත්වයකට ගෙන ඒම කෙරෙහි පූර්ණ අවධානය යොමු කිරීමට ඉඩ සලසයි” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය නිවේදනයෙන් කියැවේ.
ලෝක කුසලාන තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවල ප්‍රේක්ෂකාගාර නවීකරණය, ක්‍රීඩකයින්ගේ කාමර හා පුහුණු පහසුකම් වැඩිදියුණු කිරීම, ජාත්‍යන්තර විකාශන පහසුකම් සහ මාධ්‍ය මධ්‍යස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම ගෝලීය මට්ටමේ උත්සවයක් සඳහා සාමාන්‍ය ක්‍රීඩාංගණ අවශ්‍යතා වැඩි දියුණු කිරීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුවී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.