(ශානුක අරවින්ද)
කුරුණෑගල ශාන්ත ආනා විදුහල සහ කුරුණෑගල මලියදේව විදුහල අතර වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැති 42 වැනි ‘ඇතුගල්පුර සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ඊයේ (22) ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය. එහිදී පළමු ඉනිමේ ජයක් ලැබූ මලියදේව ක්‍රීඩකයෝ, තරගයේ වැඩි ගෞරව හිමිකර ගැනීමට සමත් වූහ. පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ මලියදේව විදුහලේ දිමත් අබේසිංහ තරගයේ වීරයා බවට පත් විය.
ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ලකුණු 234 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් ශාන්ත ආනා විදුහල, තරගය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 208 ක් ලබා මලියදේව විදුහලට වඩා ලකුණු 26 ක් පසුපසින් සිටියේය. එහිදී සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීම සදහා පන්දු 128 ක් පුරා කඩුල්ල ආරක්ෂා කරගනිමින් පන්දුවට පහරදුන් බිනර දෙනුවන් හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 35 ක් රැස්කළේය.
නායක යෂ්මිත් ජයසුන්දර හතරේ පහර 7 ක් සමග ලකුණු 42 ක් රැස්කළ අතර බිනර සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. ආරම්භක පිතිකරු දිනුග අබේසේකර ලකුණු 78 ක් රැස්‍කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. මලියදේව විදුහල වෙනුවෙන් සොනාල් අෂ්වින් ලකුණු 53 කට කඩුලු 3 ක්ද, තවීෂ බාලසූරිය ලකුණු 60 කට කඩුලු 3 ක්ද දවාගත් නමුත් ඔවුන්ට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූහ.
පළමු දිනය වූ සිකුරාදා (20) ක්‍රීඩාව නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 105 ක් ලබා සිටි මලියදේව විදුහල, දෙවැනි දිනයේදී තවත් කඩුලු 5 ක් අහිමි කරගනිමින් සිය පළමු ඉනිමට ලකුණු 316 ක් එක්කර ගත්තේය. ඒ අනුව කඩුලු 7 ක් දැවී ලකුණු 421 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවූ මලියදේව ක්‍රීඩකයෝ, ශාන්ත ආනා විදුහලට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියහ.
එහිදී රජිත් නවෝද්‍ය (157) සහ දිමත් සයුරංග (නොදැවී 103) ශතක ලබාගනිමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. හයේ පහර 3 කින් සහ හතරේ පහර 15 කින් සිය ශතකය සැරසූ රජිත, තෙවැනි කඩුල්ල වෙනුවෙන් චන්දූප අබේසිංහ (71) සමග එක්ව ලකුණු 188 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. චන්දූපගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර වේගවත් පිතිහරඹයක නිරත වූ දිමත්, හයේ පහර 2 කින් සහ හතරේ පහර 12 කින් සිය ශතකය අලංකාර කළේය.
ශාන්ත ආනා පළමු ඉනිම - ඕවර 55.2 කදී සියලු දෙනා දැවී 187
(දිනුග අබේසේකර 17, කුෂාන් සුබසිංහ 58, යෂ්මිත් ජයසුන්දර 52, සනුජ නිඳුවර 15, බිනරු දෙනුවන් 24, නිෂුද චන්ද්‍රසිරි 64/4, දිමත් අබේසිංහ 45/3, සොනාල් අෂ්වින් 50/2)
මලියදේව පළමු ඉනිම - ඕවර 111.3 කදී කඩුලු 7 ක් දැවී 421
(තිවංක පබසර 24, රජිත් නවෝද්‍ය 157, චන්දූප අබේසිංහ 71, දිමත් අබේසිංහ නොදැවී 103, තවීෂ බාලසූරිය 31, නෙසාද් වීරසේකර 92/3, සෙනුජ දිසානායක 93/2)
ශාන්ත ආනා දෙවැනි ඉනිම - ඕවර 104 කදී කඩුලු 7 ක් දැවී 208
(දිනුග අබේසේකර 78, සනුක කෙම්සර 20, යෙෂ්මිත් ජයසුන්දර 42, බිනර දෙනුවන් නොදැවී 35, සොනාල් අෂ්වින් 53/3, තවීෂ බාලසූරිය 60/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.