(ශානුක අරවින්ද)
ගාල්ල රිච්මන්ඩ් විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 121 වැනි ‘ආදරවන්තයන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය සෙනසුරාදා (21) ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය. එහිදී පළමු ඉනිමේ ජයක් ලැබූ මහින්ද විදුහල තරගයේ වැඩි ගෞරව හිමිකර ගැනීමට සමත් විය.
තරගය නිමාවට පත්වන විට පන්දුවට පහර දෙමින් සිටි රිච්මන්ඩ් විදුහල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 83 ක් ලබා සිටියේය. ඒ වන විට ආරම්භක පිතිකරු රිසිනු රූපසිංහ හතරේ පහර 4 ක් සමග ලකුණු 37 ක්ද, රවිඳු රන්දිනු හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 37 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
දෙවැනි දිනය වූ සිකුරාදා (20) ක්‍රීඩාව නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 90 ක් ලබා සිටි මහින්ද විදුහල් ක්‍රීඩකයෝ තෙවැනි දිනයේදී තවත් කඩුලු 7 ක් අහිමි කරගනිමින් සිය පළමු ඉනිමට ලකුණු 242 ක් එක්කර ගත්තේය. ඒ අනුව කඩුලු 9 ක් දැවී ලකුණු 332 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවූ මහින්ද විදුහල, දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීම සඳහා රිච්මන්ඩ් විදුහලට ආරාධනා කළේය.
එහිදී මහින්ද විදුහල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ දිනෙත් පැහැසර හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 124 ක් රැස්කිරීමට සමත් විය. රන්දුල මාබරණ (50) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 74 ක් එක්කළ දිනෙත්, ඉන් නොනැවතී මනිත රාජපක්ෂ (58) සමග එක්ව 6 වැනි කඩුල්ලට ලකණු 86 ක් එක්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
රන්දුලගේ අර්ධ ශතකය හයේ පහර 6 කින් සමන්විත වූ අතර මනිතගේ අර්ධ ශතකයට හතරේ පහර 6 ක් ඇතුළත් විය. රිච්මන්ඩ් විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ මිනග ආරියදාස ලකුණු 105 කට කඩුලු 4 ක්ද, නෙතුජ භාෂිත ලකුණු 65 කට කඩුලු 3 ක්ද බිඳහෙළීමට සමත් වූහ. පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එක සේ දස්කම් දැක්වූ මහින්ද විදුහලේ මනිත රාජපක්ෂ තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
රිච්මන්ඩ් විදුහල් පළමු ඉනිම - ඕවර 131.2 කදී සියලු දෙනා දැවී 315
(රවිඳු රන්දුනු 85, අමීෂ රසාංජන 81, තෙනුෂ නිම්සර 26, මිනග ආරියදාස 16, නෙතුජ භාෂිත 34, පුනාල් හසංජිත් 21, මනිත රාජපක්ෂ 96/5, සදෙව් නෙත්මිණ 45/2, කවිඳු නිම්සර 47/2)
මහින්ද විදුහල් පළමු ඉනිම - ඕවර 104.2 කදී කඩුලු 9 ක් දැවී 332
(දුල්සිත් දර්ෂන 22, රන්දුල මාබරණ 50, දිනෙත් පබසර 124, ගෙසඳු බිසාස් 26, මනිත රජපක්ෂ 58, මිනග ආරියදාස 105/4, නෙතුජ භාෂිත 65/3)
රිච්මන්ඩ් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 22 කදී කඩුල්ලක් දැවී 83
(රිසිනු රූපසිංහ නොදැවී 37, රවිඳු රන්දුනු නෙදැවී 37)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.