Last Update  :  2025-09-15 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School කොළඹ රාජකීය අවසන් තරගයට
19 න් පහළ ක්‍රිකට් - 2024/25

කොළඹ රාජකීය අවසන් තරගයට

editorial - 2025 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව සංවිධානය කළ 2024/25  වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ‘ඒ’ තලයේ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට කොළඹ රාජකීය විද්‍යාලය සුදුසුකම් ලබාගත්තේය. 

මෙම තරගාවලිය පසුගිය වසරේදී නිමාකළ යුතුව තිබූ තරගාවලියේ එක් අවසන් පූර්ව තරගයකි. එහෙත් මෙම තරගය සම්බන්ධයෙන් ඇතිව තිබූ අර්බුදයක් හේතුවෙන් අවසන් පූර්ව තරගය පැවැත්වීම කල් දමන ලදි. අඹේපුස්ස සිංහ රෙජිමේන්තු ක්‍රීඩා පිටියේදී පසුගියදා නිමාවූ අවසන් පූර්ව තරගයේදී (තුන්දින තරගයකි) පසුගිය වර අනු ශූරයින් වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත්විය.

කොළඹ රාජකීය විද්‍යාල නායක රමිරු පෙරේරා සහ විමත් දින්සර මෙන්ම මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සම උප නායක දීමන්ත මහවිතාන, පුලිෂ තිලකරත්න, ඇඩම් හිල්මි සහ සෙත්මික  සෙනෙවිරත්න යන ක්‍රීඩකයින් මේ දිනවල ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමගින් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට එක්වීම නිසා එම ක්‍රීඩකයින්ගේ සේවය විද්‍යාලයන්ට අහිමිව තිබිණි.

කාසියේ වාසිය දිනාගත් මහනුවර ත්‍රිත්ව පිලේ ඇරයුමෙන් පළමුව  පන්දුවට පහරදුන් කොළඹ රාජකීය පිල ඕවර 117.5 කදී සියල්ලන් දැවී ලකුණු 331 ක් රැස් කළේය. තෙවිඳු වේවැල්වල පන්දු 175 කදී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 78 ක් රැස් කළ අතර ආරම්භක පිතිකරු හිරුන් ලියනාරච්චි පන්දු 151 කදී හතරේ පහර 5 ක් සමඟින් ලකුණු 67 ක් රැස් කළේය. පසුපෙළ පිතිකරු උදන්ත ගඟේවත්ත හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 60ක් රැස් කළේය. 

තෙවිඳු වේවැල්වල සහ උදන්ත ගඟේවත්ත රාජකීය විද්‍යාලයේ 8 වැනි කඩුල්ලට ලකුණු 101 ක සම්බන්ධතාවයක් ගොඩනැංවීමට සමත්වූහ. ආරම්භක පිතිකරුවන් යුගළ හිරුන් ලියනාරච්චි සහ නායක රෙහාන් පීරිස් (37) සාර්ථක ආරම්භයක් ලබා දෙමින් පළමු කඩුල්ලට ලකුණු 95 ක සම්බන්ධතාවයක් ගොඩනැංවූහ.  

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ඕවර 85.2 කදී ලකුණු 212 කට සීමා කිරීමට රනුක මලවිආරච්චි ඇතුළු රාජකීය පන්දු යවන්නෝ සමත්වූහ. ආරම්භක පිතිකරු මාලික විතානගේ පන්දු 203 කදී හතරේ පහර 12 ක් සමඟින් ලකුණු 95 ක් රැස් කළ අතර ඔහුට තම කුළුදුල් ශතකය ලකුණු 5 කින් අහිමිවිය.  වතිල උදාර (39) සහ නෙතිල් සේනානායක (21) තම ඉනිම ගොඩැංවීමට උත්සාහ කළ ද එය ජයග්‍රහණයට කිසිසේත්ම ප්‍රමාණවත් නොවිනි. මාලක විතානගේ සහ වතිල උදාර 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 91 ක සම්බන්ධතාවයක් ගොඩනැංවූහ. පන්දුවෙන් දස්කම් දැක්වූ රනුක මලවිආරච්චි ලකුණු 70 කට කඩුලු 5 ක් දවාලීය.

තෙවැනි දිනයේ තේ විවේකය වන තෙක් තම දෙවැනි ඉනිම ක්‍රීඩා කළ රාජකීය විද්‍යාලය ඕවර 42 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 128 ක් රැස් කළේය. 

කොළඹ රාජකීය විද්‍යාලය ලබන සතියේ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගයේදී ශූරතාව දිනා ගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සමගින් තරග වදිනු ඇත.


කොළඹ රාජකීය විද්‍යාලය - පළමු ඉනිම 331 යි
(තෙවිඳු වේවැල්වල 78, හිරුන් ලියනාරච්චි 67, උදාන්ත ගඟේවත්ත 60, රෙහාන් පීරිස් 37, සෙහඳු සූරියආරච්චි 25, මලිත් රත්නායක 90/5, තිසල් යාපා 46/2, චනිරු සේනාරත්න 82/2)

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය - පළමු ඉනිම 212 යි
(මාලික විතානගේ 95, වතිල උදාර 39, නෙතිල් සේනානායක 21, රනුක මලවාරච්චි 70/5, සෙහඳු සූරියආරච්චි 27/2)

කොළඹ රාජකීය විද්‍යාලය - දෙවැනි ඉනිම කඩුලු 3 ට 128 යි
(ඉසුල ගීගනගේ නොදැවී 38, හිරුන් ලියනාරච්චි 31, දුෂේන් උඩවෙල 30, යසිඳු දිසානායක නොදැවී 19 

 


අදහස් (0)

කොළඹ රාජකීය අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.