Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.ආර්. - නාවික හමුදා රග්බි තරගය වැලිසරින් කොළඹට
රග්බි ලීගය

සී.ආර්. - නාවික හමුදා රග්බි තරගය වැලිසරින් කොළඹට

editorial - 2023 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


(ශානුක අරවින්ද)

සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව අතර එළබෙන සෙනසුරාදා (11 වැනිදා) වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගය කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා රග්බි සංගමයේ තරග කමිටුව පියවර ගෙන තිබේ.

මේ පිළිබඳ දැනුවත් කරමින් තරග ශ්‍රී ලංකා රග්බි සංගමයේ උප සභාපති මෙන්ම එහි තරග කමිටුවේ සභාපති විශ්‍රාමික ගෘප් කපිතාන් නලින් ද සිල්වා මහතා සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයේ ලේකම්වරයා වෙත ලිපියක්ද යවා ඇත.

එලෙස උක්ත තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය වෙනස් කිරීමට හේතුව ලෙස එම ලිපියේ සඳහන්ව ඇත්තේ මහනුවර ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව අතර ඉකුත් ඉරිදා (5 වැනිදා) වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගය අතුරතුර හටගත් ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබීමය.

එම තරගය අතරතුර නරඹන්නන් පිරිසක් සහ තරග තීරකවරිය ඇතුළු විනිසුරු මඩුල්ල අතර ඇතිවූ බව කියන බහින්බස් වීමක් ගැටුමක් දක්වා උත්සන්න වී තිබේ. එහිදී තරග තීරකවරිය නරඹන්නකුට පහර දෙන අයුරුද, අනතුරුව එම නරඹන්නා තරග තීරකවරියට පෙරළා පහර දෙන අයුරුද සටහන් විඩීයෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වෙමින් පවතී.

මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා කියා සිටියේ අදාල සිදුවීම සම්බන්ධයෙන් රග්බි සංගමයේ විනය කමිටුව මේ වන විටත් විමර්ෂණයක් ආරම්භ කර ඇති බවය.

එම විමර්ෂණය අවසන් වන තෙක් රග්බි ලීගයේ කිසිදු තරගයක් වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී නොපැවැත්වීමටත්, සිද්ධියට සම්බන්ධ තරග තීරකවරියගේ සේවය තාවකාලිව අත්හිටුවීමටත් තරග කමිටුව තීරණය කර ඇති බවද ඉල්ලියාස් මහතා වැඩි දුරටත් පැවසීය.

මෙම තරගයේදී නාවික හමුදා කණ්ඩායමට සහය දැක්වූ නරඹන්නන් පිරිසක් තරග විනිසුරුවන්ටද පරුෂ වදනින් බැනවදිමින් ඔවුන්ට මරණීය තර්ජන කිරීමටද කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමයේ සභාපති ඩිංකා පීරිස් මහතා ‘ලංකාදීප’යට පැවසීය.

එබැවින් තරගයේදී විනිසුරුවන්ට සිදුවූ අකටයුතුකම් සම්බන්ධයෙන් සිය සංගමය විස්තරාත්මක වාර්තාවක් ශ්‍රී ලංකා රග්බි සංගමය වෙත ඉදිරිපත් කළ බවද, අපක්ෂපාතී විමර්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් පමුණුවන තෙක් සිය සංගමයේ විනිසුරුවන් වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරග විනිෂ්චය කිරීමේ කටයුතුවලින් ඉවත්වන බවද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

 


අදහස් (1)

සී.ආර්. - නාවික හමුදා රග්බි තරගය වැලිසරින් කොළඹට
  • Sunil Wednesday, 08 February 2023 08:03 PM

    මයිනන් මේ ක්‍රීඩාවට ඇඟිලි ගැසූ තැන් පටන් මොවුන් තක්කඩියන් වෙලා.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.