Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සත් සාමාජික රග්බි ශූරතාව ගුවන් හමුදාවට

සත් සාමාජික රග්බි ශූරතාව ගුවන් හමුදාවට

editorial - 2022 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමයේ සංවිධානයෙන් කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී ඉකුත් සෙනසුරාදා (8 වැනිදා) සහ ඉරිදා (9 වැනිදා) පැවැති අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් විය.

කණ්ඩායම් 26 ක් සහභාගි වූ මෙම තරගාවලිය කාණ්ඩ 4 ක් යටතේ පැවැති අතර එහිදී ක්‍රීඩා සමාජ (පිරිමි), පළාත් (පිරිමි), ක්‍රීඩා සමාජ (කාන්තා) සහ පළාත් (කාන්තා) යන කාණ්ඩ යටතේ තරග ඉසව් පැවැත්විණ.

ක්‍රීඩා සමාජ (පිරිමි) කාණ්ඩයේ අවසන් මහ තරගයේදී ලකුණු 24-10 ක් ලෙස හැව්ලොක් ක්‍රීඩා සමාජය පරාජය කරමින් ගුවන් හමුදාව ශූරතාවට හිමිකම් කීහ. අවසන් පූර්ව වටයේදී ලකුණු 33-07 ක් ලෙස යුද හමුදාව පරාජය කරමින් හැව්ලොක් ක්‍රීඩා සමාජයද, ලකුණු 19-12 ක් ලෙස නාවික හමුදාව පරාජය කරමින් ගුවන් හමුදාවද අවසන් මහ තරගයට පිවිසියේය.

අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූ කණ්ඩායම් අතර පළඟ ශූරතාව වෙනුවෙන් පැවැති තරගයේදී ලකුණු 26-10 ක් ලෙස යුද හමුදාව පරාජය කිරීමට නාවික හමුදාව සමත් විය. බඳුන ශූරතාව වෙනුවෙන් පැවැති තරගයේදී නාවික හමුදා බ්ලූස් කණ්ඩායම පරාජය කිරීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සමත් වූයේ ලකුණු 34-00 ක් ලෙසිනි.

තරගාවලියේ ක්‍රීඩා සමාජ (කාන්තා) ශූරතාව දිනාගැනීමට යුද හමුදා ක්‍රීඩිකාවන් සමත් වූ අතර එහි අවසන් මහ තරගයේදී නාවික හමුදා ක්‍රීඩිකාවෝ යුද හමුදාව හමුවේ ලකුණු 22-10 ක් ලෙස පරාජයට පත්වූහ. ලකුණු 42-00 ක් ලෙස ගුවන් හමුදාව පරාජය කරමින් නාවික හමුදාවද, ලකුණු 22-10 ක් ලෙස සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම පරාජය කරමින් යුද හමුදාවද අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

පළාත් (පිරිමි) කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට බස්නාහිර පළාත් කණ්ඩායම සමත් වූයේ එහි අවසන් මහ තරගයේදී ලකුණු 20-00 ක් ලෙස සබරගමුව පළාත් කණ්ඩායම පරාජය කරමිනි. ලකුණු 05-00 ක් ලෙස සබරගමුව පළාත් කාන්තා කණ්ඩායම පරාජය කළ ඌව පළාත් ක්‍රීඩිකාවෝ පළාත් (කාන්තා) ශූරතාවට හිමිකම් කීහ.

නිපෝන් පේන්ට් සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළ අතර තුර්කි ගුවන් සමාගම, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්, සිද්ධාලේප, අලියා සිසිල් බීම, ප්‍රිමා සහ වෙබ්එක්ස්ප්‍රේ යන සමාගම් තරගාවලියේ සෙසු අනුග්‍රාහකයන් ලෙස කටයුතු කළේය.

 
ක්‍රීඩා සමාජ (පිරිමි)
අවසන් පූර්ව වටය
හැව්ලොක් ක්‍රීඩා සමාජය විසින් ලකුණු 33-07 ක් ලෙස යුද හමුදාව පරාජය කරන ලදි.
ගුවන් හමුදාව විසින් ලකුණු 19-12 ක් ලෙස නාවික හමුදාව පරාජය කරන ලදි.


අවසන් තරග
කුසලාන - ගුවන් හමුදාව විසින් ලකුණු 24-10 ක් ලෙස හැව්ලොක් ක්‍රීඩා සමාජය පරාජය කරන ලදි.
පළඟ - නාවික හමුදාව විසින් ලකුණු 26-10 ක් ලෙස යුද හමුදාව පරාජය කරන ලදි.
බඳුන - සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. විසින් ලකුණු 34-00 ක් ලෙස නාවික හමුදා බ්ලූස් පරාජය කරන ලදි.


පළාත් (පිරිමි)
අවසන් පූර්ව වටය
බස්නාහිර පළාත විසින් ලකුණු 22-00 ක් ලෙස දකුණු පළාත පරාජය කරන ලදි.
සබරගමුව පළාත විසින් ලකුණු 31-07 ක් ලෙස වයඹ පළාත පරාජය කරන ලදි.

අවසන් තරගය
බස්නාහිර පළාත විසින් ලකුණු 20-00 ක් ලෙස සබරගමුව පළාත පරාජය කරන ලදි.
ක්‍රීඩා සමාජ (කාන්තා)

අවසන් පූර්ව වටය
නාවික හමුදාව විසින් ලකුණු 42-00 ක් ලෙස ගුවන් හමුදාව පරාජය කරන ලදි.
යුද හමුදාව විසින් ලකුණු 22-10 ක් ලෙස සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පරාජය කරන ලදි.

අවසන් තරගය
යුද හමුදාව විසින් ලකුණු 22-10 ක් ලෙස නාවික හමුදාව පරාජය කරන ලදි.

 

පළාත් (කාන්තා)
අවසන් පූර්ව වටය
ඌව පළාත විසින් ලකුණු 15-05 ක් ලෙස බස්නාහිර පළාත පරාජය කරන ලදි.
සබරගමුව පළාත විසින් ලකුණු 20-05 ක් ලෙස දකුණු පළාත පරාජය කරන ලදි.
 
අවසන් තරගය
ඌව පළාත විසින් ලකුණු 05-00 ක් ලෙස සබරගමුව පළාත පරාජය කරන ලදි.

ඡායාරූපය - කුෂාන් පතිරාජ

 


අදහස් (1)

සත් සාමාජික රග්බි ශූරතාව ගුවන් හමුදාවට
  • Bunny Preena Tuesday, 11 October 2022 01:39 PM

    නරඹන්නන්ටත් හොඳ උත්තේජනයක් ලබාදෙන ක්‍රීඩාවක් තමයි රග්බි ක්‍රීඩාව...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.