Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකාව පිලිපීනයට එරෙහිව තෙවැනි තැනට සටනේ
ආසියානු සත් සාමාජික රග්බි

ශ්‍රී ලංකාව පිලිපීනයට එරෙහිව තෙවැනි තැනට සටනේ

editorial - 2022 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද දකුණු කොරියාවේ ඉන්චියෝන් නුවර සිට..)

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදිය‍ර යටතේ දකුණු කොරියාවට ‍එරෙහිව අද (13 වැනිදා) පැවැති කුසලාන අවසන් පූර්ව තරගයෙන් ලකුණු 31-14 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට, තරගාවලියේ තෙවැනි ස්ථානය වෙනු‍වෙන් තරග වැදීමට සිදුවිය. ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර තෙවැනි ස්ථානය සඳහා පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.00 ට ආරම්භ වීමට නියමිතය.

ඊයේ (12 වැනිදා) පැවැති මූලික වටයේදී හොං කොං කණ්ඩායම හමුවේ හමුවේ ලකුණු 40-00 ක් ලෙස පරාජයට පත්වූ ශ්‍රී ලංකාව, ඉන් අනතුරුව පැවැති තරගවලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලකුණු 26-14 ක් ලෙසද, චීනයට එරෙහිව ලකුණු 21-19 ක් ලෙසද ජයග්‍රහණ වාර්තා කරමින් තරගාවලියේ කුසලාන ශූරතාව සඳහා තරග වැදීමට අවස්ථාව උදාකර ගත්තේය.

ඒ අනුව ශ්‍රී ලංකාව අද දිනයේදී දකුණු කොරියාවට ‍එරෙහිව කුසලාන අවසන් පූර්ව තරගයකට සහභාගි වූවත්, එහිදී පරාජය වීම හේතුවෙන්  ඔවුන්ට තරගාවලි‍යේ තෙවැනි සහ සිවුවැනි ස්ථාන වෙනුවෙන් තරග වැදීමට සිදුවූහ. පිලිපීනයට මෙම තරගයට සහභාගි වීමට සිදුවූයේ හොං කෙ‍ාං කණ්ඩායමට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගය ලකුණු 17-00 ක් ලෙස පරාජය වීම හේතුවෙනි.

ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර පැවැති තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට කණ්ඩායම් 2 ම ලකුණු 14 බැගින් ලබා සම තත්ත්වයේ පසුවිය. කෙසේ වුවත් දෙවැනි අර්ධ‍යේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලකුණු ලබාගැනීමට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් කොරියානු ක්‍රීඩක‍යෝ එහිදී තවත් ලකුණු 17 ක් රැස්කරමින් තම කණ්ඩාය‍මේ ලකුණු සංඛ්‍යාව 31 ක් දක්වා ඉහළ දමාගත්හ.

තරගයේ පළමු සහ සහ තෙවැනි විනාඩිවලදී උත්සාහක දිනුම් ලබාගත් ජියෝන් මින් ජෑන් සහ එම උත්සාහක දිනුම්වල ප්‍රවර්ථන සාර්ථක කරගත් ජේ හියෝක් යූ දකුණු කොරියාව ලකුණු 14-0 ක් ලෙස පෙරමුණට ගෙන ආහ. කෙසේ වුවත් සිය සටන්කාමී ක්‍රීඩා විලාශය අත්නොහළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, ඉතා උපක්‍රමශීලි අයුරින් දිගින් දිගටම ලකුණු ලබාගැනීමට උත්සාහ දැරූහ.

එම උත්සාහයන්වල ප්‍රථිඵලයක් ලෙස  තරගයේ 5 වැනි විනාඩියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් උත්සාහක දිනුමක් ලබාගැනීමට මිතුන් හපුගොඩ සමත් විය. එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් නායක ශ්‍රීනාත් සූරියබන්ඩාර සිය කණ්ඩායමට තවත් ලකුණු 2 ක් එක් කරමින් එය ගෝල දිනුමක් බවට පත් කළේය.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ අංජුල හෙට්ටිආරච්චි පළමු අර්ධයේ අවසන් විනාඩියේදී (7 වැනි) ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් ලබාගත් අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගැනීමට තරින්ද රත්වත්තේ සමත් වීමත් සමග කණ්ඩායම් දෙකේ ලකුණු සමවිය. ඒ අනුව ලකුණු 14-14 ක් ලෙස ලකුණු තත්ත්වය සමව තිබියදී තරගයේ පළමු අර්ධය නිමාවට පත් විය. ‍

දෙවැනි අර්ධයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලකුණු ලබාගැනීමට ඉඩක් ලබා නොදුන් කොරියාවු ක්‍රීඩකයෝ තරගයේ 10 වැනි, 12 වැනි සහ 14 වැනි විනාඩිවලදී උත්සාහක දිනුම් ලබාගැනීමට සමත් වූහ. වූබීන් පාක්, සියොන්ඩියොක් චෝයි සහ වැන් යොංග් පාක් යන ක්‍රීඩක‍යෝ පිළිවෙලින් එම උත්සාහක දිනුම් 3 ලබාගත් අතර එහි පළමු වැන්නේ ප්‍රවර්ථනය සාර්ථක කරගනු ලැබුවේ ජේ හියෝක් යූ විසිනි.


අදහස් (0)

ශ්‍රී ලංකාව පිලිපීනයට එරෙහිව තෙවැනි තැනට සටනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.