Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළඟ අවසන් තරගයට
ආසියානු සත් සාමාජික රග්බි

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළඟ අවසන් තරගයට

editorial - 2022 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද දකුණු කොරියාවේ ඉන්චියෝන් නුවර සිට..)

ආසියානු සත් සාමාජික කාන්තා රග්බි තරගාවලියේ දෙවැනි අදිය‍ර යටතේ මැලේසියාවට ‍එරෙහිව අද (13 වැනිදා) පැවැති පළඟ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 17-14 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, පළඟ අවසන් තරගයට සුදුසුකම් ලබාගත්හ. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලැබූ පළමු ජයග්‍රහණයද මෙය විය.

ඊයේ (12 වැනිදා) පැවැති මූලික වටයේදී චීනය හමුවේ ලකුණු 55-00 ක් ලෙසද, හොං කොං කණ්ඩායමට එරෙහිව ලකුණු 47-00 ක් ලෙසද, කසකස්තානයට එරෙහිව ලකුණු 46-00 ක් ලෙසද පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තරගාවලියේ කුසලාන ශූරතාවෙන් ඉවත්ව පළඟ ශූරතාව සඳහා තරග වැදීමට සිදුවූහ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද දිනයේදී මැලේසියාවට ‍එරෙහිව පළඟ අවසන් පූර්ව තරගයට සහභාගි වූ අතර ඉන් ජය ලබමින් හොං කෙං කණ්ඩායමට එරෙහිව පළඟ අවසන් තරගයේදී තරග වැදීමට අවස්ථාව උදාකරගත්හ. ශ්‍රී ලංකාව සහ හොං කොං අතර පළඟ ශූරතාව වෙනුවෙන් පැවැත්වෙන අවසන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 12.35 ට ආරම්භ වීමට නියමිතය.

මැලේසියාවට එරෙහිව පැවැති තරගයේ පළමු අර්ධය අවසන්වන විට ලකුණු 12-07 ක් ලෙස පෙරමුණ ගෙන සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, දෙවැනි අර්ධයේදී සිය කණ්ඩායමට තවත් ලකුණු 5 ක් එක්කර ගත්හ. දෙවැනි අර්ධයේදී ලකුණු 7 ක් රැස්කිරීමට මැලේසියානු ක්‍රීඩිකාවෝ සමත් වුවත්, පළමු අර්ධ‍යේදී රඳවාගෙන තිබූ ලකුණු පරතරය හේතුවෙන් තරගයේ ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සතු විය.

‍තරගයේ පළමු විනාඩියේදීම උත්සාහක දිනුමක් ලබාගත් රොස්ලියානා බින්ටි මැලේසියා‍නු කාන්තා කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළේය. එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් වැලෙරි ඇනාක් ලකුණු 07-00 ක් ලෙස සිය කණ්ඩායම ඉදිරියට ගෙන ගියාය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගයට අවතීර්ණ වූයේ 5 වැනි විනාඩියේදී චාරනී තීක්ෂා ලබාගත් උත්සාහක දිනුමත් සමගිනි.

ඒ අනුව පළමු අර්ධයේ අවසන් විනාඩිය ආරම්භ වන විට ලකුණු 07-05 ක් ලෙස මැලේසියානු ක්‍රීඩිකාවෝ ඉදිරියෙන් පසුවූහ. කෙසේ වුවත් අවසන් විනාඩිය තුළදී තවත් උත්සාහක දිනුම ලබාගත් චමෝද්‍යා මධුමාලි සහ එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් තනූජා වීරක්කොඩි පළමු අර්ධය අවසානයේ ලකුණු 12-07 ක් ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පෙරමුණට පැමිණීම සඳහා අවස්ථාව සලසා දුන්හ.

දෙවැනි අර්ධයේදී තරමක් ආක්‍රමණශීලි අයුරින් තරග වැදුණ මැලේසියානු ක්‍රීඩිකාවෝ, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමග කරට කර තරගයක නිරත වූහ. එහි ප්‍රථිඵලයක් ලෙස තරගයේ 12 වැනි විනාඩියේදී මැලේසියාව වෙනුවෙන් උත්සාහක දිනුමක් ලබාගැනීමට ස්යාසානා බින්ටි සමත් වූ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් ඩයන්ග් අනාක් සිය කණ්ඩායම ලකුණු 14-12 ක් ලෙස තරගයේ ඉදිරියට ගෙන ආවාය.

තරගයේ අවසාන‍විනාඩිය දක්වාම පෙරමුණ රැකගැනීමට මැලේසියානු ක්‍රීඩිකා‍වෝ සමත් වුවත්, තරගය නිමා වෙන්න ඔන්න‍මෙන්න තිබයදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රාහී උත්සාහක දිනුම ලබාගැනීමට නායිකා දුලානි පල්ලෙකොණ්ගේ සමත් වූවාය. ක්‍රීඩාංගණයේ මධ්‍ය රේඛාව ආසන්නයේදී තමා අතට ලැබුණ පන්දුව උත්සාහක දිනුම් රේඛාව දක්වාම තනිවම රැගෙන යමින් ඇය තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමිකර දුන්නාය.

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළඟ අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.