Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රාජකීයයෝ රාජකීය ජයක් ලබති
බ්‍රැඩ්බි පලිහ පළමු අදියර

රාජකීයයෝ රාජකීය ජයක් ලබති

editorial - 2022 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මහනුවර ත්‍රිත්ව විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර 76 වැනි වරට පැවැත්වෙන බ්‍රැඩ්බි පලිහ රග්බි තරගාවලියේ පළමු අදියරේදී ලකුණු 29-00 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට රාජකීයයෝ සමත් වූහ. රාජකීය කණ්ඩායමේ නායක කවීන් සසංග එහිදී තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. 

රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී ඉකුත් සෙනසුරාදා (20 වැනිදා) පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 10-00 ක් ලෙස පෙරමුණ ගැනීමට රාජකීය විදුහල සමත් විය. එහිදී ඔවුන් ලකුණු රැස්කළේ දඬුවම් පහරක් සහ ගෝල දිනුමක් මගිනි. 

තරගයේ 17 වැනි විනාඩියේදී දඬුවම් පහරක් සාර්ථක කරගත් නබීල් යහිය රාජකීය විදුහල වෙනුවෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළේය. ඉන් නොනැවතුණ ඔහු, 25 වැනි විනාඩියේදී ධනුජ සමරරත්න ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනයද සාර්ථක කරගමින් සිය කණ්ඩයමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. 

දෙවැනි අර්ධයේදී ගෝල දිනුම් දෙකක් සහ උත්සාහක දිනුමක් සමගින් සිය කණ්ඩායමට තවත් ලකුණු 19 ක් එක්කරගත් රාජකීයයෝ, නියමිත කාලය අවසන් වන විට ලකුණු 29-00 ක් ලෙස තරගයේ ජය තමන් සතුකර ගත්හ. තරග පුරා ත්‍රිත්ව ක්‍රීඩකයන් ලකුණු රැස්කිරීමට ඉඩක් නොදීමටද ඔවුහු වග බලාගත්හ. 

දෙවැනි අර්ධය ආරම්භ වී මද වේලාවකට පසුව ක්‍රීඩකයන් දෙදෙනකුම කහ කාඩ්පත් ලබා පිටියෙන් ඉවත්ව ගොස් සිටියදී, රාජකීය කණ්ඩායමෙ වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට නවීන් පෙරේරා සමත් විය. 50 වැනි විනාඩියේදී වාර්තා වූ එම උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගනු ලැබුවේද නබීල් යහිය විසිනි. 

තරගයේ 60 වැනි විනාඩියේදී රාජකීය විදුහල වෙනුවෙන් සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කළ හුකර් ක්‍රීඩක ධනුජ සමරරත්න තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. කෙසේ වුවත් එහි ප්‍රවර්ථනය සාර්ථක කරගැනීමට නබීල් යහිහ අපොහොසත් විය.  

තරගය නිමාවීමට විනාඩි 3 ක් ඉතිරිව තිබියදී එනම් 67 වැනි විනාඩියේදී රාජකීය විදුහල වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට තිනෙත් ගමගේ සමත් වූ අතර ප්‍රවර්ථනය සාර්ථක කරගනිමින් එය ගෝලයක් බවට පත්කිරීමට නබීල් යහියට හැකි විය. 

තරගයේ 68 වැනි විනාඩියේදී දෙවැනි කහ කාඩ්පත සමගම රතු කාඩ්පතක් ලැබූ ෆිලියෝ කල්යානරත්න මෙන්ම අවසන් විනාඩියේදී (70 වැනි) රතු කාඩ්පතක් ලැබූ තෙවිඳු සපරමාදුද පිටියෙන් ඉවත්ව ගිය නමුත් ඉන් රාජකීය විදුහලේ ජයග්‍රහණයට කිසිදු හානියක් නොවීය.

 


අදහස් (0)

රාජකීයයෝ රාජකීය ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.