Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රග්බි ලීග් ශූරතාව අපරාජිත මහනුවරට
රග්බි ලීගය

රග්බි ලීග් ශූරතාව අපරාජිත මහනුවරට

editorial - 2023 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කළ අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ ශූරතාව දිනාගැනීමට තරගාවලිය පුරා අපරාජිතව සිටි මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැති තරගයෙන් සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 29-10 ක ජයක් වාර්තා කරමින් මහනුවර ක්‍රීඩකයෝ සිය ජයග්‍රහණය තහවුරු කරගත්හ.   

පළමු අර්ධය නිමාවන පත්වන විට ලකුණු 10-00 ක් ලෙස පෙරමුණ ගැනීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සමත් වුවද, දෙවැනි අර්ධයේදී සිය සුපුරුදු ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයට අවතීර්ණ වූ මහනුවර ක්‍රීඩකයෝ ලකුණු 29 ක් රැස්කරමින් තරගයේ ජය තමන් සතුකර ගත්හ. දෙවැනි අර්ධයේදී එක් ලකුණක් හෝ රැස්කිරීමට සී.ආර්. ක්‍රීඩකයෝ අපොහොසත් වූහ.

එම තරගයේදී මහනුවර කණ්ඩායම ගෝල දිනුම් 3 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත් අතර සී.ආර්. කණ්ඩායම ලකුණු රැස්කළේ ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් මගිනි. 10 වැනි විනාඩියේදී සී.ආර්. කණ්ඩායමට හිමි වූ දඬුවම් පහර සාරථක කරගත් මොහාන් චතුර, ඉන් නොනැවතී 35 වැනි විනාඩියේදී තේනුක නානායක්කාර ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනයද සාර්ථක කර ගත්තේය.

ලවංග පෙරේරා (43 වැනි විනාඩියේදී), කවිඳු පෙරේරා (56 වැනි විනාඩියේදී), මොහොමඩ් යකූබ් (65 වැනි විනාඩියේදී) සහ ආසිරි සෙනෙවිරත්න (80 වැනි විනාඩියේදී) මහනුවර කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත්හ. ඉන් උත්සාහක දිනුම් 3 ක ප්‍රවර්ථන මෙන්ම 71 වැනි විනාඩියේදී මහනුවර කණ්ඩායමට හිමිවූ දඬුවම් පහරද සාර්ථක කරගනු ලබුවේ තරින්ද රත්වත්තේ විසිනි.

මෙම තරගයේදී සී.ආර්. කණ්ඩායමේ මොහාන් චතුර 42 වැනි විනාඩියේදීත්, ගයාන් දිල්ෂාන් 55 වැනි විනාඩියේදීත් විනිසුරුවන්ගේ දැඩි අවවාද සමග කහ කාඩ්පත් ලැබූහ. මෙම තරගයේදී මහනුවර කණ්ඩායම ක්‍රීඩක ආදේශ කිරීම් 5 කද, සී.ආර්. කණ්ඩායම ක්‍රීඩක ආදේශ කිරීම් 6 කද නිරත වූහ.  නිපෝන් පේන්ට් සමාගම මෙවර තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේය. 

 

(ඡායාරූප - කුෂාන් පතිරාජ)


අදහස් (0)

රග්බි ලීග් ශූරතාව අපරාජිත මහනුවරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.