Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රග්බි පිලේ ආසියානු තරග සංචාරය වැට උඩ

රග්බි පිලේ ආසියානු තරග සංචාරය වැට උඩ

editorial - 2022 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)
 
දකුණු කොරියාව බලා යෑමට අවශ්‍ය ගුවන් ප්‍රවේශපත් මිලදී ගැනීම සඳහා මුදල් නිකුත් කිරීම ක්‍රීඩා අමාත්‍යංශය පමා කිරීම හේතුවෙන් ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියර සඳහා ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා රග්බි කණ්ඩායම්වල සහභාගීත්වය අද (8 වැනිදා) පස්වරුව වන විටත් අවිනිෂ්ත තත්ත්වයක පැවැති බව ‘ලංකාදීපය’ට වාර්තා වේ. 
 
ශ්‍රී ලංකා රග්බි සංගමයට එරෙහිව ජාත්‍යන්තර තහනමක් පනවා තිබීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම්වලට මෙම තරගාවලිය සඳහා සහභාගි වීමට සිදුව ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටු ධජය යටතේය. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහ ආසියානු රග්බි සම්මේනයේ සභාපති කයිස් අල් ධලායි මහතා අතර ඩුබායිහිදී පැවැති හමුවක ප්‍රතිඵයක් ලෙස ශ්‍රී ලංකාවට ඔලිම්පික් කමිටු ධජය යටතේ දෙවැනි අදියරේ සිට මෙම තරගාවලියට සහභාගි වීමට අවස්ථාව උදා විය. 

තරගාවලියේ දෙවැනි අදියර මෙම මස 12 වැනිදා සහ 13 වැනිදා දකුණු කොරියාවේ ඉන්චියෝන් නුවරදී පැවැත්වීමට නියමිත අතර ඊට සහභාගිවන ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් හෙට (9 වැනිදා) දිනයේදී ශ්‍රී ලංකාවෙන් පිටත්ව යා යුතුව තිබේ. එසේ වුවත් අද (8 වැනිදා) පස්වරු 4.00 වන විටත් ගුවන් ප්‍රවේශ පත්‍ර සඳහා මුදල් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන නොතිබූ බව ශ්‍රී ලංකා රග්බි සංගමේ උසස් නිලධාරීයෙක් පැවසීය. 

විදේශ අමාත්‍යංශයේ සහයෝගය මත තරගාවලියට සහභාගි වීමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් සඳහා වීසා ඇයැදුම් කර තිබුණද, ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත්වීමක් නොලැබුණ හෙයින් ‍අද (8 වැනිදා) පස්වරුව වන තෙක්ම ඔවුන්ගේ වීසා අනුමත වී නොතිබූ බවද එම උසස් නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේය. 

තරගාවලියට තෝරාගනු ලැබ සිටින පිරිමි සහ කාන්තා රග්බි කණ්ඩායමවලට ගුවන් ප්‍රවේශපත් සහ විසා සඳහා අනුග්‍රහය දැක්වීමට ඉකුත් සිකුරාදා (4 වැනිදා) ක්‍රීඩා අමාත්‍යංශයේ පැවැති රැස්වීමකදී ඇමතිවරයා එකඟ වූ බව රග්බි නිලධාරියා සඳහන් කළේය. 

එම රැස්වීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාට සහ රග්බි සංගමයේ නිලධාරීන්ට අමතරව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග, ක්‍රීඩා අමාතංශ ලේකම් අමල් හර්ෂ ද සිල්වා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාජල් අමල් එදිරිසූරිය සහ අමාත්‍යංශ උපදේශක සුදත් චන්ද්‍රසේකර යන මහත්වරුද සහභාගි වී තිබූ බව වාර්තා වේ.  

කෙසේ වුවත් රැස්වීමෙන් පසුව අමාත්‍යංශ ලේකම්වරයා රග්බි සංගමය වෙත ලිපියක් යොමුකරමින් පවසා ඇත්තේ කණ්ඩායමට අනුමැතිය ලබා දෙන්නේ තරග සංචාරයේ සියලු වියදම් රග්බි සංගමය දරන්නේ නම් පමණක් බවය. ඒ සඳහා අමාත්‍යංශය, රග්බි සංගමය සහ තරගාවලියට සහභාගිවන්නන් අතර රුපියල් මිලියනයක ආරක්ෂක බැඳුම්කරයක් අත්සන් කළ යුතු බවද එම ලිපියේ සඳහන් වේ. 

මේ පිළිබඳව කරණු විමසීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් අමල් හර්ෂ මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ ගත්තද, ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් එම උත්සාහය ආසාර්ථක විය. 

ශ්‍රී ලංකා පිරිමි සංචිතය 
අනුජ හෙට්ටිආරච්චි, චතුර සෙනෙවිරත්න, ආකාෂ් මදුසංක, අදීෂ වීරතුංග, මිතුම් හපුගොඩ, ශ්‍රීනාත් සූර්යබණ්ඩාර, නයිජල් රත්වත්තේ, තරින්ද රත්වත්තේ, කවිඳු පෙරේරා, රමේෂ් ප්‍රනාන්දු, දර්ෂන දාබරේ, රිචඩ් ධර්මපාල, මොහොමඩ් නිල්ෆර් (පුහුණුකරු) සහ ඒ.එස්.කේ. පිටිගල (කලමණාකරු) 

ශ්‍රී ලංකා කාන්තා සංචිතය 
ජයන්ති කුමාරි, ආර්.එස්.එච්. කුමාරි, දිලිනි කාංචනා, ශානිකා මධුමාලි, චාරුනී තීක්ෂණා, දුලානි පල්ලෙකොන්ඩගේ, අයේෂා පෙරේරා, උමයංගනා තත්ත්සරණි, පොල්හේවගේ දිලානි, චමෝද්‍යා මධුමාලි, රන්දිකා කුමුදුමාලි, තනූජා වීරක්කොඩි, සාලිය කුමාර (පුහුණුකරු) සහ සමන්ත නානායක්කාර (කලමණාකරු) 


අදහස් (0)

රග්බි පිලේ ආසියානු තරග සංචාරය වැට උඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.