Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර පිලට තවත් පහසු ජයක්
රග්බි ලීගය

මහනුවර පිලට තවත් පහසු ජයක්

editorial - 2023 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ නමවැනි සතිය යටතේ නිත්තවෙල ක්‍රීඩාංගණයේදී ඊයේ (12 වැනිදා) පැවැති තරගයෙන් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 29-08 ක පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

පළමු අර්ධය නිමාවන පත්වන විට ලකුණු 19-03 ක් ලෙස මහනුවර ක්‍රීඩකයෝ තරගයේ වැඩි වාසි අත්කරගෙන සිටියහ. දෙවැනි අර්ධය තුළ මහනුවර කණ්ඩායම ලකුණු 10 ක් ලබාගනිද්දී, හැව්ලොක්ස් කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි. ඒ අනුව තරගයේ ජය මහනුවර කණ්ඩායම සතුවිය.

මෙවර තරගාවලියේදී මේ දක්වා සහභාගි වූ තරග 9 ම ජයගෙන සිටින මහනුවර කණ්ඩායම තරගාවලිය පුරා සිය අපරාජිත බව රැකගෙන සිටියි. ඒ අනුව අවසන් සතියේදී සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැත්වෙන තරගය පරාජයට පත්වුවද, මෙවර ලීග් ශූරතාව මහනුවර කණ්ඩායමටම හිමිවනු ඇත.

පළමු අර්ධයේදී ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් සමග ලකුණු රැස්කළ මහනුවර ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී තවත් ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත්හ. පළමු අර්ධයේදී දඬුවම් පහරකට සීමා වූ හැව්ලොක්ස් කණ්ඩායමේ ලකුණු ලබාගැනීමට දෙවැනි අර්ධයේදී උත්සාහක දිනුමක් ඇතුළත් විය.

දමිත් දිසානායක 11 වැනි විනාඩියේදීද, වජීඩ් ෆව්මි 26 වැනි විනාඩියේදීද, තරිඳු චතුරංග 39 වැනි විනාඩියේදීද, ඩැවියෙල් ඒකනායක 44 වැනි විනාඩියේදීද මහනුවර කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත්හ. ඉන් ප්‍රවර්ථන 3 ක් සාර්ථක කරගත් තරින්ද රත්වත්තේ, මහනුවර කණ්ඩායමට හිමිවූ දඬුවම් පහරක්ද සාර්ථක කරගත්තේය.  

හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුමට 71 වැනි විනාඩියේදී රමේෂ් ප්‍රනාන්දු හිමිකම් කීවේය. හැව්ලොක්ස් පිලට හිමිවූ දඬුවම් පහර සාර්ථක කරගනු ලැබුවේ සන්දේෂ් ජයවික්‍රම විසිනි.

මෙම තරගයේදී මහනුවර කණ්ඩායමේ නයිජල් රත්වත්තේ සහ ඩේමියන් රත්වත්තේ (68 වැනි සහ 72 වැනි විනාඩිවලදී) ද, හැව්ලොක්ස් කණ්ඩායමේ ෂෙහාන් ඩයස් (7 වැනි විනාඩියේදී) ද විනිසුරුගේ දැඩි අවවාද සමග කහ පැහැති කාඩ්පත් ලැබූහ.

(ඡායාරූප - ශ්‍රී ලංකා රග්බි සංගමය අනුග්‍රහයෙනි)


අදහස් (0)

මහනුවර පිලට තවත් පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.