Last Update  :  2024-04-26 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර ක්‍රීඩකයෝ සතියකට කලින්ම ශූරතාව දිනති
රග්බි ලීගය

මහනුවර ක්‍රීඩකයෝ සතියකට කලින්ම ශූරතාව දිනති

editorial - 2023 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2023 අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගය නිමා වීමට තවත් සතියක් ඉතිරිව තිබියදීම කුසලාන ශූරතාව තමන් සතුකර ගැනීමට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන මහනුවර ක්‍රීඩා සමාජය සමත්ව සිටියි. අපරාජිත බව රැකගනිමින් සහභාගි වූ තරග 9 ම ජයගෙන සිටින මහනුවර කණ්ඩායම ප්‍රසාද ලකුණු 6 ක්ද සමග මේ වන විට ලබා සිටින මුළු ලකුණු සංඛ්‍යාව 51 කි. 

ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහභාගි වූ තරග 9 න් 8 ක් ජයගෙන ප්‍රසාද ලකුණු 5 ක් සමග මුළු ලකුණු 45 කට හිමිකම් කීවද, ඔවුන්ට මෙවර රග්බි ලීගය ජයගැනීමට ඇති අවස්ථාව කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නාක් මෙන්ය. මෙම සතියේදී මහනුවර කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය ප්‍රසාද ලකුණක් සමග ජය ලැබුවද, සී.ආර්. කණ්ඩායමට හිමිවන මුළු ලකුණු සංඛ්‍යාව 51 කි. 

එසේ වුවහොත් කණ්ඩායම් දෙකේම ලකුණු සංඛ්‍යාවන් සමාන වන අතර එවැනි අවස්ථාවක තරගාවලියේ ශූරයන් තෝරාගැනීම සඳහා ඒ ඒ කණ්ඩායම් සහභාගි වූ තරගවලදී ලබාගත් ලකුණු සහ ප්‍රතිවාදීන්ට ලබාදුන් ලකුණු අතර පරතරය පරික්ෂාවට ලක් කෙරෙණු ඇත. එහිදී වැඩි ලකුණු පරතරයකට හිමිකම් කියන කණ්ඩායම තරගාවලියේ ශූරයන් ලෙස අභිසෙස් ලබනු ඇත. 

මෙවර රග්බි ලීගයේ සති 9 ක් අවසන් වන විට මහනුවර කණ්ඩායමේ ලැබූ ලකුණු සහ දුන් ලකුණු අතර පරතරය 111 ක් වේ. එහෙත් සී.ආර්. කණ්ඩායමේ ලැබූ ලකුණු සහ දුන් ලකුණු අතර පරතරය සටහන් වන්නේ 63 ක් ලෙසිනි. එබැවින් සී.ආර්. කණ්ඩායමට මෙවර රග්බි ලීගයේ ශූරයන් බවට පත්වීමට නම් ලකුණු 48 කට වැඩි පරතරයකින් මහනුවර කණ්ඩායම කණ්ඩායම පරාජය කිරීමට සිදුවනු ඇත. 

ගෙවී ගිය සතිය තුළ කුසලාන ශූරතාව යටතේ පැවැති තරගවලදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 29-08 ක ජයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත් විය. එහිදී නාවික හමුදාව පරාජය කිරීමට සී.ආර්. කණ්ඩායම සමත් වූයේ ලකුණු 37-17 ක් ලෙසිනි. මේ වන විට හැව්ලොක්ස් කණ්ඩායම ලකුණු 26 ක්ද, නාවික හමුදාව ලකුණු 21 ක්ද ලබා සිටින අතර මෙම සතියේදී එම කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තරගයෙන් ජය ලබන කණ්ඩායම කුසලාන වටයේ තෙවැනි ස්ථානයට පත්වනු ඇත. 

තරගාවලියේ පළඟ ශූරතාව සඳහා ගුවන් හමුදාව සහ පොලිසිය ද්වන්ද සටනක නිරත වෙමින් සිටින අතර මේ වන විට එම කණ්ඩායම් දෙක පිළිවෙලින් ලකුණු 29 ක් සහ 28 ක් බැගින් ලබා සිටියි. එබැවින් මෙම සති අන්තයේදී එම කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තරගයේ ජයග්‍රාහකයන් මෙවර රග්බි ලීගයේ පළඟ ශූරයන් බවට පත්වනු ඇත. ඉන් පරාජයට පත්වන කණ්ඩායමට පළඟ අනු ශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදුවනු ඇත. 

කුසලාන ශූරතාව සඳහා 

  • 18 වැනිදා - හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව අතර - හැව්ලොක් ක්‍රීඩාංගණයේදී 
  • 19 වැනිදා - මහනුවර ක්‍රීඩා සමාජය සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර - නිත්තවෙල ක්‍රීඩාංගණයේදී 
  •  

පළඟ ශූරතාව සඳහා

  • 17 වැනිදා - පොලිසිය සහ ගුවන් හමුදාව අතර - බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී 
  • 18 වැනිදා - යුද හමුදාව සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර - පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී 

 


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයෝ සතියකට කලින්ම ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.